පුත්තලම දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස කිහිපයකින් මේ වන විට සැක සහිත කොරෝනා රෝග ලක්ෂණ සහිත රෝගීන් කිහිප දෙනෙකු වාර්තා වී ඇති බව පුත්තලම දිස්ත්‍රික් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු ප්‍රකාශ කර සිටින්නීය.
පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටි නාත්තන්ඩිය, ආරච්චිකට්ටුව සහ පල්ලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසය තුලින් මෙම සැක කටයුතු රෝගීන් වාර්තා වී ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු සඳහන් කළාය.


එලෙස වාර්තා වූ රෝගීන්ගෙන් දැනට PCR පරික්ෂණවලින් තහවුරු වී ඇත්තේ කොට්ටාරමුල්ල ප්‍රදේශයෙන් වාර්තා වූ රෝගියා පමණක් බවත් අනෙක් සැක කටයුතු රෝගීන් දෙදෙනා තවමත් පරීක්ෂණ මට්ටමේ පසුවන බවයි ඇය මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම රෝගීන්ගේ ආශ්‍රිතයින් 50 කට ආසන්න පිරිසක් දැනට ස්වයං නිරෝධායනයට ලක් කොට ඇති බවත් තවත් පිරිසක් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යැවීමට පියවර ගත් බව පැවසූ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකවරිය තවත් සමිපතයින් සිටීද යන්න සම්බන්ධයෙන් සොයා බලන බවද ප්‍රකාශ කර සිටියා.

සැකකටයුතු රෝගීන් වාර්තා වීමත් සමග මේ වන විට පුත්තලමේ ජනතාව කැලඹීමකට ලක්ව ඇති බවත් පාසැල් සහ වෙළදසැල් විවෘත කරනවද නැද්ද යනුවෙන් විවිධ ප්‍රශ්න නගිමින් සිටින බවයි වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු සඳහන් කළාය.

මහජනතාව එසේ අනවශ්‍ය කලබලයක් අති නොකර ගත යුතු බවත් සෞඛ්‍ය අංශ විසින් අවශ්‍ය ක්‍රියා මාර්ග සියල්ලම ගෙන ඇති බැවින් ජනතාව නිරෝධායන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිත කරමින් සිටීම මගින් වෛරසයෙන් ආරක්ෂා විමට හැකි බව සඳහන් කර සිටියාය.