ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට ගමන්ගත් රථ දෙකක් මහරගම නගර මධ්‍යයේදී එකිනෙක ගැටීමෙන් පෙරේදා (19) දා රාත්‍රී අනතුරක් සිදුව ඇති බව මහරගම පොලිසිය පවසයි.
අනතුරින් කිසිවකුටත් තුවාල සිදුව නොමැති අතර රථ දෙකට සුළු හානි සිදුව ඇති බව ද පොලිසිය කියයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරේදා 19දා ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවැති ජනහමුවකට සහභාගිවී නැවත කොළඹ බලා එමින් සිටියදී රාත්‍රී 9.20ට පමණ මහරගම නගර මධ්‍යයේ දී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි. එම අවස්ථාවේදී ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට පසු පසින් ගමන්ගත් රථ පෙළ හයිලෙවල් මාර්ගය ඔස්සේ කොළඹ දෙසට  ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.

අනතුරින් කිසිවකුටත් තුවාල සිදුව නොමැති බවද පොලිසිය පවසයි.  මෙම අනතුර සම්බන්ධ බව කියන ත්‍රිරෝද රථයක රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ජීප් රථ දෙක සහ ත්‍රිරෝද රථය පොලිස් භාරයට ගෙන ඇති බව පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලිසිය  වැඩිදුර පරික්ෂණ පවත්වයි.

-ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න-