මහ මැතිවරණයට තවත් ඇත්තේ සති දෙකකටත් අඩු කාලයකි. මැතිවරණ කොමිසම ලහි ලහියේ සූදානම් වන්නේ ඡන්ද විමසීම නිසි ක්‍රමවේදයට හා සෞඛ්‍යාරක්ෂිතව පැවැත්වීමටය.

මේ අතර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කරන ආකාරය පිළිබඳවද ඉකුත්දා මැතිවරණ කොමිසම කරුණු පැහැදිලි කළේය. ඉකුත් ජනාධිපතිවරණයේදී කොමිසම කීවේ වඩාත් නිවැරැදි වන්නේ හින්දු අරාබි ඉලක්කම් වලින් 1, 2 සලකුණු කරන ලෙසය. එහෙත් මෙවර මැතිවරණ කොමිසම ප්‍රකාශ කරන්නේ කතිරය (X) සලකුණු කර ඡන්දය ප්‍රකාශ කිරීම වඩාත් නිවැරැදි බවය. ඒ අනුව තමා කැමති දේශපාලන පක්‍ෂයේ නම සහ
ලකුණ ඉදිරියෙන් හෝ කැමති ස්වාධීන කණ්ඩායම් අංකය ඉදිරියෙන් කතිරය සලකුණු කළ හැකිය. එය පක්‍ෂයට ලබාදෙන ඡන්දයකි. ඡන්දදායකයකුට දේශපාලන පක්‍ෂයට හෝ ස්වාධීන කණ්ඩායමට හෝ පමණක් ඡන්දය ප්‍රකාශ කළ හැකිය. කිසිදු අපේක්‍ෂකයකුට මනාපය පළකිරීමට හෝ නොකර සිටීමට හෝ ඡන්ද දායකයන්ට අයිතියක් ඇත. යම් හෙයකින් පක්‍ෂයට හෝ ස්වාධීන කණ්ඩායමට හෝ පමණක් ඡන්දය ප්‍රකාශ කර ඇත්නම් එය වලංගු ඡන්ද පත්‍රිකාවක් ලෙස පිළිගන්නා බවද මැතිවරණ කොමිසම කියයි.

මේ අතර ඡන්දදායකයන්ට මනාප ඡන්ද භාවිත කළ හැකිය. එක් ඡන්දදායකයෙකුට මනාප අංක තුනකට එනම් අපේක්‍ෂකයන් තිදෙනෙකුට උපරිම වශයෙන් මනාප ඡන්දය ලබාදිය හැකිය. කැමතිනම් එක් මනාප ඡන්දයක් මහා මනාප ඡන්ද දෙකක් වුවද සළකුණු කළ හැකිය. ඡන්දදායකයකුට එලෙස මනාප සලකුණු කළ හැක්කේ තමා මුලින් ඡන්දය දුන් දේශපාලන පක්‍ෂයේම හෝ ස්වාධීන කණ්ඩායමේ හෝ අපේක්ෂකයන්ට පමණි.

මේ අතර කිසිඳු දේශපාලන පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට ඡන්දය සළකුණු කර නැති ඡන්ද පත්‍රිකා අවලංගු ඒවා ලෙස සලකන බවද මැතිවරණ කොමිසම කියයි. පිළිගත් දේශපාලන පක්‍ෂ එකකට වැඩි ගණනකට, ස්වාධීන කණ්ඩායම් එකකට වැඩි ගණනකට ඡන්දය සලකුණු කර ඇති ඡන්ද පත්‍රිකාද වලංගු වන්නේ නැත. මීට අමතරව ඡන්ද දායකයා හඳුනාගත හැකි යමක් ඡන්ද පත්‍රිකාවේ සඳහන් කිරිම, ඡන්දය සලකුණු කර ඇති ආකාරය අපැහැදිලිවීම ආදී කරුණු නිසාද ඡන්ද පත්‍රිකා ප්‍රතික්ෂේප කෙරෙන බවද මැතිවරණ කොමිසම සඳහන් කරයි.

මේ අතර ඡන්ද සටනද ජයටම සිදු කෙරෙන අතර ඊට යටින් මනාප පොරයද දැකිය හැකි යැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අපේක්‍ෂකයෝ එකම වේදිකාවේ සිට මනාප සටන මෙහෙයවීම විශේෂත්වයකි.

“පොදුජන පෙරමුණට පොඩි සැකයක් තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු වැඩි පිරිසක් ආවොත් පාර්ලිමේන්තුවේදී ඒ අය වෙනම කණ්ඩායමක් ලෙස සංවිධානය වෙන්න පුළුවන්. එතකොට යම් යම් විශේෂ අවස්ථාවලදී ශ්‍රීලනිප කණ්ඩායමේ බලපෑම්වලට යටත් වෙන්න පොහොට්ටුවට සිදු වෙනවා. ඒ නිසා ශ්‍රීලනිප අපේක්‍ෂකයන් දිනන එක පුළුවන් තරම් අඩුකරන්න ඕනේ. ඒ නිසා පොහොට්ටුවේ වේදිකාවේදී නායක මට්ටමින් යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙනවා." යැයි දේශපාලනඥයෙක් මාධ්‍යවේදීන් පිරිසක් සමඟ ප්‍රකාශ කර තිබේ.

දෙමළ ජාතික සන්ධානය ඉකුත් දා ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීය. දෙමළ ජාතික සන්ධානය ඔවුන්ගේ අතීත ඉල්ලීම් තවදුරටත් අත්හැර නැතැයි ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් පැහැදිලි කෙරෙන බවද දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. “දෙමළ ජාතික සන්ධානය ෆෙඩරල් විසඳුමක් ඉල්ලනවා. එවැනි විසඳුමකින් තොරව තවදුරටත් දෙමළ ජනතාවගේ ප්‍රශ්නය විසඳන්න බැහැ. මීට අමතරව උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරන්නත් ඕනේ. උතුර හා නැගෙනහිර වෙන් කිරීම තමන් පිළිගන්නේ නැතැයිද" දෙමළ ජාතික සන්ධානය සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය මඟින් තහවුරු කර ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

එක්සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂකයන් වෙනුවෙන් රවි කරුණානායක ප්‍රචාරක වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ. ඔහු ගුවන් මගින් රට පුරා විවිධ ප්‍රදේශවල සංචාරය කරමින් ප්‍රචාරක රැලි ඇමතීම ආරම්භ කර තිබේ. “රවි කරුණානායක ඔහුගේම පෞද්ගලික වියදමින් රට පුරා ප්‍රදේශ කීපයකම සංචාරය කළා. කෑගල්ල, මඩකළපුව, ත්‍රිකුණාමලය, මක්නාරම, හැටන්, බදුල්ල, බිබිල, මොණරාගල, හම්බන්තොට සහ අර ඇතුළු පළාත් කීපයකම රවි ගුවන් සංචාර ගියා. එම ප්‍රදේශවල පැවැති ප්‍රධාන ප්‍රචාරක රැලි ඇමතුවා." යැයි එජාප ජ්‍යෙෂ්ඨයෙක් පැවසීය. මීට අමතරව රවි කරුණානායක මෑතකදී හිටපු ජනාධිපතිවරයාටද චෝදනා කළේය. “හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තමයි එක්සත් ජාතික පක්‍ෂය දෙකට බෙදුවේ. ඇතැම් පිරිස් හුරතල් කරලා අගමැතිකම් දෙන්න හදලා වගේ දේවල් කළා. ඒ අය අලියා එපා කියලා ගියා. හැබැයි දැන් අලියගෙ නැටිටෙ එල්ලෙන්න හදනවා." යැයි රවි කරුණානායක කීවේය.

නීති විරෝධී ලෙස මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදු කෙරෙන බවට මැතිවරණ කොමිසමට දිගින් දිගටම පැමිණිලි ලැබෙමින් තිබේ. ඇතැම් අපේක්‍ෂකයෝ පන්සල්, පල්ලි සහ කෝවිල ආගමික උත්සව පවත්වන මුවාවෙන් ප්‍රචාරණ කටයුතු සිදුකරන බවට කොමිසමට පැමිණිලි රැසක් ලැබී ඇතැයි සභාපති මහින්ද දේශප්‍රිය කියන්නේය.

“අපට පැමිණිලි ලැබී ඇත්තේ දිස්ත්‍රික්ක පහකින් පමණයි. එම දිස්ත්‍රික්කවල ආගමික ස්ථානවල ප්‍රචාරණ කටයුතු යහමින් සිදු කරනවා. 1981 අංක 01 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 79 වැනි වගන්තිය යටතේ ආගමික ස්ථානයක සිදුකරන ප්‍රචාරක කටයුත්තක් හෝ ආගමික වැඩසටහනකදී අපේක්‍ෂකයන් ප්‍රවර්ධනය කිරීම හෝ තවත් පිරිසක් අගතියට පත් කිරීම වරදක්. එම වරදට දඬුවම් ලබාදිය හැකියි. එනිසා එවැනි වැරදි නොකරන ලෙස අපි සියලු දේශපාලන පක්‍ෂවලට  දැන්නුවා. ඒවගේ ආගමික නායකයන්ගෙන් ඉල්ලන්නේ මින් ඉදිරියට අපේක්‍ෂක ප්‍රවර්ධනයට ආගමික ස්ථාන ලබා නොදෙන ලෙසයි" යැයි ද මහින්ද දේශප්‍රිය සඳහන් කරන්නේය.

බැසිල් රාජපක්‍ෂ මේ දිනවල රටපුරා පක්‍ෂ සංවිධායකවරුන් කොළඹට ගෙන්වා අවශ්‍ය උපදෙස් හා වැඩපිළිවෙළ පිළිබඳව සාකච්ඡා කරන්නේය. ඉකුත් අගහරුවාදා ගම්පහ දිස්ත්‍රික්කයේ පොහොට්ටු සංවිධායකයෝ නෙළුම් මාවත කාර්යාලයට කැඳවනු ලැබුහ.

බැසිල් රාජපක්‍ෂ දිස්ත්‍රික් මට්ටමින් සංවිධායකවරුන් ගෙන්වා උපදෙස් ලබා දුන්නේය. දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය ඉකුත් ජනාධිපතිවරණයේ දී මෙන් මෙවර මහ මැතිවරණයේදී ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය පළකරන බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් සුගත් හේවාපතිරණ කියයි.

“අපි දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කළා. කොළඹ දිස්ත්‍රික්කයේ බල ප්‍රදේශ රැසකම අපි වැඩකටයුතු දියත් කළා. ජනාධිපතිවරණ පරාජයත් එක්සත් ජාතික පක්ෂයේ දෙකඩවීමත් සමඟ කළකිරුණු එක්සත් ජාතික පාක්ෂිකයන් අපත් සමඟ එකතු වුණා. සිංහල ජනතාව පමණක් නොව දෙමළ මුස්ලිම් ජනතාවත් මෙවර අපත් සමඟ එක්ව සිටිනවා. අපි මෙවර පොහොට්ටුව ජයග්‍රහණය කරවීමට කටයුතු කරනවා යැයි සුගත් හේවාපතිරණ කියයි. නිරෝධායන මධ්‍යස්ථානවල ඡන්ද විමසීම ගැන ඇතැම් පිරිස් සැක පහළ කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය කියන්නේය.

නිරෝධායන මධ්‍යස්ථානවල පුද්ගලයන් ප්‍රමාණය අඩු නිසා තමන් ඡන්දය දුන්නේ කාටදැයි ඇතැම් පිරිස් දැනගන්න ඉඩ තිබෙන බවට බොරු ප්‍රචාරයක් යනවා. ඒක වැරදියි. අපි නිරෝධායන මධ්‍යස්ථානවල ඡන්ද විමසීම තියන්නේ ඉතාම සෞඛ්‍යය ආරක්ෂිතව හා රහස්‍යභාවය රැකෙන පරිදියි. තැපැල් ඡන්දය විමසන ආකාරයට නිරෝධායන මධ්‍යස්ථානවල ඡන්ද පැකැට්ටු කවරවල දමා ආරක්ෂිතව බහා තියනවා. සතියකට පමණ පසුව එනම් අගෝස්තු 6 වැනිදා තමයි අපි ඒවා ගණන් කරන්න අල්ලන්නේ. එතකොට විෂබීජ නැහැ. නිලධාරීන්ටත් බියක් සැකයක් " ඇතිකර ගතයුතු නැහැ යැයි මහින්ද දේශප්‍රිය කියන්නේය.

“ඡන්ද විමසීම් දවසේ ඡන්දය ගණන් කරන්නේ නැති නිසා තවත් පිරිසක් සැකයක් පහළ කරනවා. ඒකත් මිත්‍යාවක්. අර ගම්වල මළමිනී තනි කරන්නෙ නැහැ වගේ ඡන්ද පෙට්ටි තනිකරන්නත් හොඳ නැහැ කියලා මිනිස්සු හිතනවා. ඒකත් වැරදියි. දැන් මල්ශාලාවල මළමිනී තනිකරලා රෑට මිනිස්සු ගෙදර යනවා. අපි කියන්නෙ ඡන්ද පෙට්ටි ගණන් කරන මධ්‍යස්ථානවල ගබඩාකරලා තබනවා. දේශපාලන පක්ෂවල නියෝජිතයන් අත්සන් කරලා ස්ටිකර් අලවනවා. පොලිස් ආරක්ෂාව තියෙනවා. පක්ෂ තියෙජිතයෝ එළිවෙනකන් ඉන්නවා. ඒ නිසා කාටවත් ඡන්ද පෙට්ටිවලට අත තියන්න ලැබෙන්නේ නැහැ.

මේ අතර ඡන්ද රාජකාරි පැහැර හරින රජයේ නිලධාරීන් සම්බන්ධයෙන් පියවර ගැනීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ. යම් සාධාරණ හේතුවක් නැතිව ඡන්ද රාජකාරිවලට වාර්තා නොකිරීම වරදක් වන අතර එවැනි රාජ්‍ය සේවකයන්ට විරුද්ධව කටයුතු කිරීමටත් ඔවුගේ උසස් වීම්වලට බලපාන පරිදි ලිපි නිකුත් කිරිම ආදී පියවර ගන්නා බවද මැතිවරණ කොමිසම සඳහන් කරයි.

මෙවර මහ මැතිවරණයේ තැපැල් ඡන්දය විමසීම නිම වුවද ඇතැම් රාජ්‍ය සේවකයන් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණ නැති බවට දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වාර්තා පෙන්වාදී තිබේ. විශේෂයෙන් වෛද්‍යවරුන් හා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරිමේ අඩුවක් තිබෙන බවද වාර්තා පෙන්වා දී තිබේ.

එක් තැපැල් ඡන්දයක් වෙනුවෙන් රජයේ මුදල් රුපියල් 1500 ක් පමණ වැයවෙන අතර තැපැල් ඡන්දය අයදුම්කර ප්‍රකාශ නොකර සිටීම රාජ්‍ය මුදල් නාස්ති කිරීමක් බවද දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

කෙසේ වෙතත් ලබන සතියේදී තවත් දින දෙකක් තැපැල් ඡන්දය සඳහා වෙන් කෙරෙනු ඇතැයි පැවසේ.

(උපුටාගැනීම - ලංකාදීප පුවත්පත)