බත්තරමුල්ල, පැලවත්ත, පෙරේරා ගාර්ඩන් ප්‍රදේශයේ නිවසක පසුගිය 8 වැනිදා සිදුවී ඇතැයි කියන රුපියල් ලක්ෂ 20ට අධික රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධව තලංගම පොලිසියට පැමිණිලිකර දින 20 ක් ඉක්ම
ගොස් ඇතත් මෙතෙක් සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසියට නොහැකි වී ඇති බවට නිවසේ හිමිකරු චෝදනා කරයි. සොරකම සිදුවූ දින නිවසේ හිමිකරුවන් නිවසෙන් බැහැරව ගොස් සිට ඇති අතර එදින සවස 3.30ට පමණ මෙම සොරකම සිදුවී ඇති බවත් සොරකම සිදුකළ  පුද්ගලයා නිවසේ පිටුපස දොරෙන් නිවසට ඇතුළුවී ඇති අතර ඔහු නිවසට පැමිණෙන අයුරු සහ නිවසින් පිටව යන අයුරු නිවසේ ආරක්ෂිත කැමරාවල සටහන් වී ඇති බවත් එම දර්ශනද පොලීසියට ලබාදී ඇති බවත් නිවසේ හිමිකරු පවසයි.

සොරකම් කළ භාණ්ඩ අතර මිල කළ නොහැකි මැණික් ගල් අල්ලන ලද කර මාලයක් ඇතුළු රන් මාල හතරක්, රත්රන් වළලු, මුදු ඇතුළු රන් භාණ්ඩ සමග මිල අධික විදේශීය සුවඳ විලවුන්, මුහුණු අලේප ඇතුළු ලක්ෂ 2කට අධික භාණ්ඩ ඇති බවද නිවසේ හිමිකරු පවසයි. මේ සම්බන්ධව බත්තරමුල්ල මූලස්ථාන පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක නලින් ප්‍රියලාල් මහතාගෙන් කළ විමසීමකදී මෙසේ කීය. මේ සොරකමට අදාළ ආරක්ෂිත කැමරා දර්ශන පොලිසියට ලැබිල තියනවා. සැකකරු මුඛ ආවරණ පැළඳ  සිටීම නිසා හඳුනා ගැනීමට තරමක් අපහසු වෙලා තියනවා. නමුත් ඒ දර්ශන අදාළ තැන්වලට යොමුකරල තියෙන්නේ. එම නිසා ළගදීම සැකකරු අත්අඩංගුවට ගත්ත කටයුතු කරනවා.