මහනුවර ලෝකයේ වටිනාකම වැඩිම සංස්කෘතික නගරයක් බවට පත්කරන බවත් බෝගම්බර හිරගෙදර තිබූ
ස්ථානයේ හෝටලයක් සෑදීම පිළිබඳ ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් අග්‍රාමාත්‍ය මහින්ද
රාජපක්ෂ මහතා පවසයි.



ඊයේ (30) පස්වරුවේ මහනුවර දිස්ත්‍රික්කයේ සෙංකඩගල ප්‍රදේශයේ පැවැති හමුවකට එක්වෙමින්
අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ බෝගම්බර හිරගෙදර හෝටලයක් ඉදිකරන බවට ඇතැමුන් ගෙන යන
ප්‍රචාර සම්පූර්ණ අසත්‍යයක් බවයි.

දළදා වහන්සේ  වැඩ සිටින දළදා මාළිගාව අසළ මාර්ගය වසා දැමීමට පියවර ගනු ලැබුවේ එම
මාර්ගයෙන් මස්කඩ හිමිකරුවන් හරක් ලොරි සහ මස් පිණිස සතුන් ප්‍රවාහනය කිරීම නවතා දැමීමට බවත්,
එම මාර්ගය වෙනුවට විකල්ප මාර්ග ඉඳිකර එමගින් නගරයේ තදබලය අඩු කිරීමට පියවර ගත් බවත්
අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

දළදා වහන්සේ වැඩම කරන මෙම මාර්ගයේ මස් පිණිස සතුන් ප්‍රවාහනය කිරීම අනුමත කළ නොහැකි
කටයුත්තක් වන අතරම එය කාගේත් අවධානය යොමු නොවූ කරුණකි.

බෝගම්බර හිර ගෙදර හෝටලයක් ඉඳිකරන බවට ඇතැමුන් ගෙන යන ප්‍රචාර තරයේ ප්‍රතික්ෂේප කළ
අග්‍රාමාත්‍යවරයා ඉදිරියේ පිහිටුවන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රජයක ප්‍රමුඛ අරමුණ වන්නේ
දළදා වහන්සේ වැඩ සිටින මහනුවර නගරය සංස්කෘතිමය නගරයක් බවට පත් කරමින් ලෝකයේ සංස්කෘතික
නගර අතර වටිනාකම වැඩිම නගර අතරට ගෙන ඒම බද අවධාරණය කළේය.

බෝගම්බර සිට උමං මාර්ගයක් ඉදිකොට මහනුවර නගරයේ මාර්ග තදබදය අවම කර ජනතාවට සහන
සැලසීමට ද සැළසුම් කොට තිබේ.

මේ සියලු කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුනෙන් දෙකක බහුතර බලයකින් ජයග්‍රහණය
කරවිමට පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා මෙහිදී ජනතාවගෙන් ඉල්ලා සිටියේය.