මෙම වසරේ ගත වූ කාලය තුළ වැටලීම් 17 ක් සිදුකර ඇති අතර අල්ලස් ගත් රාජ්‍ය නිලධාරීන් 21 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පවසයි.  ඒ අනුව රාජ්‍ය නිලධාරින් අල්ලස් ගැනීමේ සිදුවීම් පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ වැඩිවීමක් පෙන්නුම් කරන බව
අල්ලස් කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පද්මිණී වීරසූරිය මහත්මිය  පැවැසුවාය.
නව කොරෝනා තත්ත්වය රාජ්‍ය නිලධාරින්  අල්ලස් ගැනීමට පෙළඹීමේ සිදුවීම් වැඩිවීමට හේතුවක් වී තිබෙන බව පද්මිණී වීරසූරිය  මහත්මිය කීවාය.

මෙම වසරේදී අත්අඩංගුවට ගත් රාජ්‍යය නිලධාරින් අතර පොලිස් නිලධාරීන් අට දෙනකු, විදුහල්පතිවරයකු, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහායකයකු, මධ්‍යම සංස්කෘතික අරමුදලේ ව්‍යාපෘති කළමනාකරුවකු, ප්‍රාදේශීය ලේකම්වරයකු, සහකාර අධ්‍යක්ෂවරයකු සහ ග්‍රාම නිලධාරියකු ඇතුළු පිරිසක් සිටින බවද ඇය කියා සිටියාය. පසුගිය වසරේදී අල්ලස් ගැනීමේ සිදුවීම්වලට අදාළව පුද්ගලයන් 24 දෙනකු අත්අඩංගුවට ගත්  බව ඇය සඳහන් කළාය.