ගම්පොළ, නිල්ලඹ උපතැපැල් කාර්යාලයෙන් ගෙවීමට නියමිත  විශ්‍රාම වැටුප් දීමනාව සඳහා තැපැල දෙපාර්තමේන්තුව පේරාදෙණිය තැපැල් කාර්යාලය හරහා ඒවා තිබූ රුපියල් එක් ලක්‍ෂ හතළිස් දහසක මුදල් පාර්සලයේ රුපියල් ලක්ෂයක් වූ  බණ්ඩලය තුළ මුදල් වෙනුවට කපා සකස් කරන ලද කඩදාසි මිටියක් තිබීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇතැයි පොලිසිය කියයි.

 නිල්ලඹ තැපැල් ස්ථානාධිපතිනි  සේපාලිකා මංගලී සේනාරත්න මහත්මිය මෙම පැමිණිල්ල සිදු කර  ඇත.

පැමිණිල්ල අනුව තැපැල් දෙපාර්තමේන්තුව සතු වෑන් රථයකින්  ලියුම් පාර්සල් එවන ආකාරයට මෙම  මුදල් බෑගය ද ගෙනවිත් දී එය ලබා  ගත් බවට අත්සන් ගත් බවත් පසුව විශ්‍රාම වැටුප් ගෙවීමට සුදානම්ව එම තැපැල් මල්ල ලිහා බැලීමේ දී මුදලින් රුපියල් හතළිස් දහසක් හා ඉතිරි ලක්‍ෂය සඳහා සකස් කරන ලද කොළ බණ්ඩලය තිබූ බව තැපැල් ස්ථානාධිපතිනිය කළ පැමිණිල්ලේ සඳහන් වන බව පොලිසිය කීය.
 ඒ අනුව ස්ථානාධිපතිනිය වහාම මේ බව තැපැල් දෙපාර්තමේන්තුවට දන්වා මෙසේ පොලිස් පැමිණිල්ලේ සටහන් කොට ඇත.

 මේ සිද්ධිය සමග 10 වැනිදා සිකුරාදා විශ්‍රාම වැටුප ගැනීමට පැමිණ සිටි අය හට විශ්‍රාම වැටුප් ගෙවීමට නොහැකි වූ බවද ඇය පොලිසිය හමුවේ ප්‍රකාශ කොට ඇත. ගම්පොළ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ බාර  පොලිස් අධිකාරී ශ්‍රියන්ත පීරීස්, සහකාර පොලිස් අධිකාරී ඕ. පී. අමරබන්දු යන නිලධාරින්ගේ උපදෙස් මත ගලහා පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ලලිත්  මහගෙදර මහතා මේ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

(ගම්පොළ සුරංග රාජනායක)