මහනුවර දළදා පෙරහැර ඇතුළු පෙරහැර රැසකට ගමන් කළ මෙරට සිටි හිලෑ දළ ඇතෙකු වන මිල්ලන්ගොඩ පොඩි රාඡා හෙවත් ජයන්ති හස්තියා පෙරේදා (29) පස්වරුවේ මියගොස් ඇත.
හිටපු අගමැතිනී සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ  රජය සමයේ 1973 දී නිර්මාණය කළ ජනරජ ලාංජනය ප්‍රථම වරට මහජන ප්‍රදර්ශනය සඳහා මහනුවර නගරයේ රැගෙන ගියේද මිල්ලන්ගොඩ පොදුරාජාගේ පිට මත තබාගෙනය.

මෙම හස්තියා මියයන විට වයස අවුරුදු 70ක් විය. මිල්ලන්ගොඩ පොඩි රාජා හස්තියාගේ වර්තමාන හිමිකරු ආනන්ද මිල්ලගොඩ මහතා වන අතර ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෑගල්ල ආසන සංවිධායකවරයාය.

දැනට රෝගාතුරව මහනුවර පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන තම පියා වන එස්, ආර් අප්පුහාමි මිල්ලන්ගොඩ මහතා 1956 දී දෙහිවල සත්වෝද්‍යානයේ පැවැති වෙන්දේසියක දී රුපියල් පන්දහසක ‍මෙම හස්තියා මිලදීගෙන කෑගල්ල මොළගොඩට රැගෙන ආ බව ආනන්ද මිල්ලන්ගොඩ මහතා පැවසීය.

එවක තම නිවසේ ඇතුන් තිදෙනකු ඇතුළුව අලින් දහයක් දොළහක් පමණ සිටි නමුත් වර්තමානය වන විට සිටින්නේ තිදෙනකු පමණක් බව ද ඔහු සඳහන් කළේය. මිල්ලන්ගොඩ පොඩි රාජා මහනුවර දළදා පෙරහැර සතර මහා දේවාල පෙරහැරවල මෙන්ම කෑගල්ල පොසොන් පෙරහැර, අලුත්නුවර, කතරගම, අනුරාධපුර මෙම යාපනයේ පවා පැවැති පෙරහැරවල ගමන් කර  ඇතැයි ඔහු ප්‍රකාශ කළේය.

පසුගිය වසරේ පැවති ශ්‍රී දළදා මාලිගාවේ පෙරහැරට ද එක්වූ මිල්ලන්ගොඩ පොඩි රාජා ඉන්පසු තවත් පෙරහැර දෙකක ගමන්  කළ බවත් ඉන්පසු රෝග තත්ත්වයට පත්වූ බවත් ඔහු පැවසීය. මෙම හස්තියා පසුගිය මාස කිහිපයක් ආහාරයට ගැනීමට නොහැකිව සිටි  බවත්, දිගින් දිගටම, ප්‍රතිකාර ලබාදෙමින් සිටි  අතරතර මියගිය බවත් මිල්ලන්ගොඩ මහතා කීවේය.

තම පියා විසින් මිල්ලන්ගොඩ පොඩි රාජාට "ජයන්ති ඇතා" යන නම තබා ඇත්තේ 1956 දී බුද්ධ ජයන්තිය සැමරුම් උත්සවයටම සහභාගිවීමෙන් පසුව බව ද ඔහු පැවසීය.නොකඩවා වසර ගණනාවක් දළදා පෙරහැරෙහි
කරඬුව වැඩමවූ ආසියාවේ දිගම දළ හීමි හස්තියා වූ මිල්ලන්ගොඩ රාජාගේද හිමිකරු ආනන්ද මිල්ලන්ගොඩ මහතාය.  එම හස්තියා 2011 අගෝස්තු 03 දා මියගිය පසු සිරුර සංරක්ෂණය කර කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල, මොළගොඩ නිවසේ දෙස් විදෙස් සංචාරකයන්ට නැරඹීමට අවස්ථාව උදාකර ඇතැයි කී මිල්ලන්ගොඩ මහතා ජයන්ති හස්තියා ද ඒ අයුරින්ම සංරක්ෂණය කිරීමට බලාපොරොත්තු වන බව කීවේය.

මියගිය මිල්ලන්ගොඩ පොඩි රාජාගේ අවසන් කටයුතු ඊයේ (30) පස්වරුවේ මහා සංඝ රත්නය වැඩම කරවා මතක වස්ත්‍ර පූජා කර හා පැන් වඩා පින් පැමිණවීමෙන් අනතුරුව සිදු කෙරිණි.

(කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න සහ රඹුක්කන එම්.ආර්.ප්‍රියශාන්ත කෑගල්ල කරුණාරත්න අතුකෝරාල)