''මහත්තයා පැය දෙකකින් වගේ ගෙදර එනවා කියලයි  මෙහෙයුමට ගියේ. එහෙම කිව්ව නිසා මම මහත්තයා එනකල් බලාගෙන හිටියා. නමුත්  මහත්තයා ආවේ නැහැ" යැයි පෙරේදා (13) හක්මණ ප්‍රදේශයේදී ටිපර් රථ අනතුරකට ලක්ව මියගිය පොලිස් කොස්තාපල් මාලිත ශ්‍යාමේන් විතාරණ (36) මහතාගේ බිරිය වන එස්.පී. නිරෝෂිකා මහත්මිය පැවසුවාය.‍


හක්මන පොලිස් වසමට අයත් කෝංගල 13 කණුව පොලිස් මාර්ග බාධකයේ රාජකාරියේ යෙදී සිටියදී ටිපර් රථයකට යටවීමෙන් හක්මණ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ වලස්මුල්ල මොදරවාන පල්ලෙවාව්ව ප්‍රදේශයේ පොලිස් කොස්තාපල් මාලිත ශ්‍යාමේන් (78262) නම් නිලධාරියා පෙරේදා (13) ජීවිතයට පත්ව තිබිණි.

මාතර සිට හක්මණ දෙසට ධාවනය කරමින් තිබූ ටිපර් රථයක් නවත්වන ලෙස පොලිස් නිලධාරින් අණකර තිබූ අතර එම රථය නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් ඉදිරියේ තිබූ පොලිස් මාර්ග බාධකයේ සිටි නිලධාරින්ට මේ බව දන්වා ඔවුන් රථය ලුහුබැඳ ඇත. ඉන් අනතුරුව හක්මණ කෝංගල 13 කණුව අසල මාර්ග බාධකයේදී පොලිස් නිලධාරීන් ටිපර් රථය නවතා එහි රියැදුරුට තාවකාලික බලපත්‍රයක් ලබා දීම අවවාද කර ඇත. පසුව පිටත්ව ගිය ටිපර් රථය විනාඩි දහයකට පමණ පසු යළිත් පැමිණ පොලිස් නිලධාරින් යටකර පලා ගොස් ඇතැයි පොලිසිය කියයි.

සිද්ධියෙන් පොලිස් කොස්තාපල් මාලිත ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙක් තුවාල ලැබූහ. අනතුර සිදුකළ ටිපර් රථය ඊයේ (14) අලුයම් කාලයේදී රන්න ගෝඨයිම්බරගම ප්‍රදේශයේ නිවසක නවතා ගොස් තිබියදී නිවෙස් හිමිකරුගේ දැනුම්දීම පරිදි හුංගම පොලිසිය විසින් සොයාගනු ලැබීය.

 අනතුරින් ජීවිතක්ෂයට පත්වූ මාලිත ශ්‍යාමන් මහතා හත් හැවිරිදි පුතකුගේ සහ තුන් හැවිරිදි දියණියකගේ පියා වෙයි. ඔහු වීරකැටිය කොටවාය මහා විද්‍යාලයෙන් උසස් පෙළ හදාරා ඇති අතර 2008 වර්ෂයේ සැප්තැම්බර් මාසයේදී පොලිස් කොස්තාපල්වරයකු ලෙස ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සේවයට එක්වූ අයෙකි. දිවයිනේ ප්‍රදේශ කිහිපයක රාජකාරි කළ මෙම නිලධාරියා මිය යන විට හක්මණ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරමින් සිට ඇත. මිය ගිය නිලධාරියාගේ අවසන් කටයුතු හෙට (16) වලස්මුල්ල මොදරවාන පල්ලෙවාව්ව පවුලේ සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.

(සිටිනාමළුව-අනීෂා මානගේ)