තමන්ට අද බනින පිරිස තමන්  මියගිය පසු මීට වැඩිය තමන් ගැන කතා කරනු ඇතැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (16දා) උදෑසන මැදිරිගිරිය දහම් වැව ප්‍රදේශයේ පැවැති ජනහමුවකදී 
පැවසීය. මොරගහකන්ද ව්‍යාපාරය ආරම්භ කිරීම සහ මැදිරිගිරිය බිසෝපුර නව ජනපද ආරම්භ කිරිම පිළිබද තවත්  අවුරුදු 25කින් පමණ කතා කිරීමට  හැකිවනු ඇතැයිද මෙහිදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

"අද මේ රටේ ජනතාව ඩී.එස්. සේනානායක මැතිතුමා ගැන කතා  කරනවා. ගොවි ජනපද ව්‍යාපාර ආරම්භ කරපු ඒ ජනපද ව්‍යාපාරයේ පියා හැටියට,  පොළොන්නරුව මහා සංවර්ධනයකට  උරදුන් එස්.ඩබ්ලිව්. ආර්.ඩී. බණ්ඩාරනායක මහත්තයාගේ ආණ්ඩුවේ, මැදිරිගිරි ව්‍යාපාරය සංවර්ධනය කරපු සී.පී. ද සිල්ව මහත්තයා ගැන පොළොන්නරු ජනතාව කතා කරනවා. මොරගහකන්ද ව්‍යාපාරය හදලා පොළොන්නරුව සංවර්ධනය කරලා නව අතට හරවල මේ බිසෝපුර අලුතින් ජනපදය ඇති කරල තමුන්නාන්සේලා පදිංචිකරපු මේ මා ගැන තව අවුරුදු 25කින් කතා කරයි.

මම මැරිච්ච දවසක මීට වැඩිය කතා කරයි. මම දන්නවා ඒක. අද මට බණින මිනිස්සු මම ගැන මීට වැඩිය කතා කරයි. මම ගැන පොත් ලියයි, මම ගැන ලිපිලේඛන  ලියයි. මම ගැන හුගක් දේවල් කතා කරයි. මම මිනිස්සුන්ට ආදරේ කරපු මිනිහෙක්. මම මිනිස්සුන්ට ආදරේ කරන මිනිහෙක්. මම දුෂණයට, වංචාවට කිසිසේත්ම ඉඩ දෙන්නේ නැති මිනිහෙක්. මම අහිංසක දුප්පත් වෙනුවෙන් වැඩ කරපු මිනිහෙක්. අද ලංකාවේ වකුගඩු රෝගීන් කීදෙනෙක් ඉන්නවද? අහිංසක වකුගඩු රෝගීන් වෙනුවෙන් මම තරම් වෙන කිසිම කෙනෙක් සේවයක් කරලා නෑ මේ රටේ. 2015 ජනාධිපතිවරණයේදී මට කෝටි ගාණක් හම්බවුණා මගේ මතිවරණ අරමුදලට. මට ඒවා සාක්කුවට දාගන්න තිබුණා. පොල්වතු  තෙත්වතු අරගන්න තිබුනා. මගේ ළමයින්ට ගෙවල් දොරවල් හදලා දෙන්න තිබුනා. මං ඒවයින් මොනවද කෙරුවේ. ගිහිල්ලා බලන්න අනුරාධපුර ඉස්පිරිතාලෙට.

-තුෂාර තෙන්නකොන්-