2015 ජනාධිපතිවරණ සමයේදී රුපියල් මිලියන 600ක් වැය කරමින් සිල් රෙදි බෙදා දීමේ සිද්ධියට එවකට ජනාධිපති ලේකම්ව සිටි ලලිත් වීරතුංග මහතා අදාළ මුදල් විදුලි සංදේශ ගිණුමට බැර කළත්, ඒවා ඔහුගේ පෞද්ගලික පරිහරණයට ලබාගෙන ඇතැයි හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ
නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට යන අය විසින් ගොනුකළ අභියාචනා පෙත්සම ඊයේ 23 දා අභියාචනාධිකරණය විභාගයට ගත් අවස්ථාවේදී ඒ මහත්වරුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කාංචන රත්වත්ත මහතා පැවසීය.

ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට මහත්වරුන් විසින් ඉදිරිපත් කළ එම අභියාචන පෙත්සම් කුමුදිනී වික්‍රමසිංහ සහ දේවිකා අබේරත්න මහත්මීන් ගෙන් යුත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ  සලකා බැලිණි.

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කාංචන රත්වත්ත මහතා කරුණු දක්වමින් මෙසේද කීය.
“ලලිත් වීරතුංග මහතා අදාළ මුදල් විදුලි සංදේශ ගිණුමට බැර කළත් ඒවා ඔහුගේ පෞද්ගලික පරිහරණයට ලබාගෙන නැහැ. මේ නඩුව මහාධිකරණයේදී විභාගයට ගෙන ඇත්තේ විනිසුරු පූර්ව නිගමනවලට එළැඹගෙනයි. නඩු තීන්දුවේ දේශපාලන වචන බහුලව භාවිත කර තිබෙනවා. තවද නඩු විභාගයේදී සාක්කිකරුවන්ට හිරිහැර වන ලෙස මහාධිකරණ විනිසුරු ප්‍රශ්න කර තිබෙනවා.

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාපා මහතා මෙසේ කීය. “ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම සතු රුපියල් මිලියන 600ක් වැය කරමින් සිල් රෙදි බෙදාදීමේ ව්‍යාපෘතිය සිදුකිරීමෙන් රජයේ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බවට පවරා තිබූ නඩුව විභාග කළ මහාධිකරණ විනිසුරුවරයාගේ නඩු විමසීමේ ක්‍රියාකලාපය ගැටලු සහගතයි. සාමාන්‍ය නඩු විභාගයකදී සහ නඩු තීන්දුවකදී භාවිත කරන නීතිමය වචන වෙනුවට දේශපාලන වචන එම මහාධිකරණ නඩුවට ඇතුළු කර තිබෙනවා.

ඉකුත් ජනාධිපතිවරණය සමයේ දිවයින පුරා විහාරස්ථානවලට සිල් රෙදි බෙදා හැරීම හරහා රජයට අයත් රුපියල් මිලියන 600 ක මුදල් අවභාවිත කිරීම හා පාඩුවක් සිදු කිරීමේ චෝදනාවට විත්තිකාර අභියාචකයන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා නඩු විභාගයක් පැවතුණි. එම නඩු විභාගයේ තීන්දුව ඉකුත් 2017 සැප් 07 වැනිදා ප්‍රකාශයට පත් කෙරුණු අතර එහිදී වැරදිකරු බවට තීන්දු කෙරුණු හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාට සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන අයට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් හා මිලියන 2 බැගින් වන දඩ මුදලක් සහ මිලියන 50 ක වන්දි මුදලක් නියම කළේය.

එම දඩ මුදල් හා සිර දඬුවම් නියම කර ඇති ආකාරය නීති විරෝධී යැයි පෙන්වා දෙමින් අභියාචනා ඉදිරිපත් කරන පෙත්සම්කරුවන් එම දඬුවම අහෝසි කර තමන් සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබිණි.

විත්තිකාර අභියාචක පෙත්සම්කරුවන් වන හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහත්වරුන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාපා නීතිඥ කාංචන රත්වත්තේ යත මහත්වරු පෙනී සිටියහ. නීතිපතිවරයා වෙනුවෙන් රජයේ නීතිඥ ජයලක්ෂි සිල්වා මහත්මිය පෙනී සිටියාය.

(රංජන් කටුගම්පොළ සහ තිළිණි ද සිල්වා)