අගුණකොලපෑලැස්ස ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කළැයි කියන පණ්ඩිතගේ ශාන්ත කුමාර නොහොත් “කොස් මල්ලී” නමැත්තාගේ හිස කොටස මීට වසර 2 කට පෙර අලුත්කඩේ පෙදෙසේදී හමුවූ අතර රජයේ වියදමින් භූමදානය කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඊයේ (27) කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කළාය.

මෙම හිස කොටස රඳවා ඇති පොලිස් මෘත ශරීරාගාරයේ ශීතකරණවල ඉඩකඩ මදිවීම හේතුවෙන් එය ඉන් ඉවත් කර ගන්නා ලෙස  තමන් වෙත දැනුම් දී ඇති බවත් ඒ හේතූවෙන් එම හිස කොටස භූමදානය සඳහා අවසර ලබා දෙන ලෙස කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.  

පණ්ඩිතගේ ශාන්ත කුමාර නොහොත් ‘කොස් මල්ලී” යන අයගේ හිස කොටස ඉකුත් 2018 මාර්තු මස 07 වැනිදා කොළඹ අලුත්කඩේ ප්‍රදේශයට ගෙනැවිත් දමා තිබූ අතර, එම සිරුරේ කඳ කොටස පුලුස්සා අගුණකොලපෑලැස්ස ප්‍රදේශයේ මැණික් පතලක වළ දමා තිබියදී පොලීසිය විසින් ගොඩගනු ලැබ තිබිණි. 

කඳ කොටසින් ලබාගන්නා ලද ඩී එන් ඒ ආදර්ශක සහ හිස කොටසින් ලබා ගන්නා ලද ඩී එන් ඒ ආදර්ශක සැසඳෙන්නේ දැයි පරික්ෂා කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අධිකරණය ඉකුත් 2018 මාර්තු මස 28 වැනිදා රජයේ රස පරීක්ෂකවරයා වෙත නියෝග කර තිබිණි.

මෙම ඝාතනය සිදු වී වසර තුනකට අධික කාලයක් ගතවී ඇතත් මේ වන තෙක් එම රස පරීක්ෂක වාරිතාව ලැබී නොතිබීම හේතුවෙන් එම හිස කොටස පොලිස් මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබී ඇත. මෙම ඝාතනය සඳහා යොදා ගත් ගිනිඅවිය සොයාගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකු නම් කර ඇති බවත් නඩුව අගුණකොලපෑලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන බවත් මෙහිදී කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කළේය.

නො. 129, ඩී/15 ඇළ, මිනින්දෝරු නිවාස, කුට්ටිගල, පදලංගල පදිංචි කසුන් තරංග කස්තුරිආරච්චි (30) සහ දොඹගහවෙල, මොනරාගල පදිංචි අමරසිංහ දීගලගේ අමිල සම්පත් (23) නමැත්තන් මෙම සිද්ධියේ සැකකරුවන් වන බව ද කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දී ඇත.

හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර ඇතිවූ ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති බව ද කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේය.

- නිමන්ති රණසිංහ -