මගේ අතින් යුද හමුදාවේ පොලිසියේ අය මැරුනේ  යුද්ධයේදී. එහෙම නැතිව පෞද්ගලිකව මම එය කළ දෙයක් නොවේ යැයි සමස්ත ලංකා දෙමළ මහා සභාවේ දිගාමඩුල්ල මන්ත්‍රීධුර අපේක්ෂක විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් පැවැසීය.

ත්‍රිකුණාමලයේ පැවැති මැතිවරණ ප්‍රචාරක රැලියකට පැමිණ පෙරේදා (12) පැවැති මාධ්‍ය හමුවකදී මේ බව කීය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ කරුණා අම්මාන් මෙසේද පැවසීය.
 හමුදාවේ පොලිසියේ අප මගේ අතින් මැරුණේ යුද්ධයේදී. එහෙම නැතිව මම එය පෞද්ගලිකව කළ දෙයක් නොවෙයි. ඒසම්බන්ධයෙන් මට එරෙහිව පරික්ෂණයක් පැවැත්වෙනවා. ඊයේ පෙරේදාත් පරික්ෂණයට ගියා. යුද ගැටුම් කාලයේදී රජය විසින් අත්අඩංගුවට ගත් එල්.ටී.ටී.ඊ. සාමාජික සාමාජිකාවන් බොහෝ දෙනෙක් නිදහස් කළා. තවත් 157 දෙනකු සිරගත කරලා ඉන්නවා. ඒ අය නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති හා අගමැති සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.
මම දැන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග හෝ එම සන්ධානය සමග කිසිදු සම්බන්ධයක් නැහැ. මම නියෝජනය කරන්නේ  දෙමළ එක්සත් නිදහස් පෙරමුණයි. ඒ පක්ෂය තවම ලියාපදිංචි කරලා නැති නිසා මෙවර මහ මැතිවරණයට සමස්ත ලංකා දෙමළ මහා සභාව පක්ෂයෙන් තරග කරනවා යැයි ද පැවසීය.


ත්‍රිකුණාමලය අමරදෝරු අමරජීව