ජෝර්දානයේ සේවය කළ රැකියා විරහිත ශ්‍රී ලාංකික සේවක පිරිසකට ඊයේ (27දා) සවස ජෝර්දාන් පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ. ජෝර්දානයේ ඇඟලුම් කම්හලක සේවය කරන මෙම සේවකයන් 340ක පමණ පිරිසක් රැකියා විරහිතව සිට ඇති අතර ඔවුන් එම කර්මාන්ත ශාලාවට අයත් නේවාසිකාගාරයක රැදී සිට තිබේ.

ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් අදාළ සේවකයන් හමුවීමට ගොස් ඇති අතර, එහිදී අදාළ සේවකයන් හා තානාපති කාර්යාල නිලධාරීන් අතර නොසන්සුන්කාරී තත්වයක් උද්ගතව තිබේ. එය පාලනය කිරීම සදහා ජෝර්දාන් පොලීසිය මඟින් මෙම ප්‍රහාරය එල්ල කර ඇත.

මේ සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි මංගල රන්දෙණිය මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා පවසා සිටියේ මෙවැනි සිද්ධියක් සම්බන්ධයෙන් වාර්තා වන බවත්, මෙම සේවකයන්ගේ සුවදුක් විමසීමට ගිය අවස්ථාවේදී ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර, මේ සම්බන්ධයෙන් වෙන වැඩිදුර විස්තර ජෝර්දාන් තානාපති කාර්යාලයෙන් ඉල්ලා තිබෙන බවයි.