මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය විකිණීමේ බෙදාහැරීමේ සහ ඇසුරුම් කිරීමේ ජාවාරමෙහි යෙදුණු විශේෂිත මත්ද්‍රව්‍ය ජාලයක් හඳුනා ගැනීමට නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන්ට හැකි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ජාලිය සේනාරත්න මහතා පැවැසීය.



මෙම මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ ජාවාරම්කරුවන් අතර රුපියල් කෝටි 180ක පමණ මුදලක් සංසරණය වී ඇතැයි හෙළි වූ බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

බෙල්ලන්විල විහාරස්ථානය ඉදිරිපිට මාර්ගයේ ගමන් කරමින් සිටි සැකකටයුතු පුද්ගලයකු පිළිබඳව පොලිසියට ලද රහසිගත තොරතුරක් මත එම පුද්ගලයා පොලිස් භාරයට ගෙන සිදුකළ විමර්ශනවලදී මෙම සැකකරුගේ මව විසින් හොරණ ප්‍රදේශයේ ස්ථානයක මත්ද්‍රව්‍ය ඇසුරුම් කරන බවට ලද තොරතුරු මත එම සැකකාරිය හා සැකකරුවන් පිළිබඳ තොරතුරු අනාවරණය කරගෙන තිබිණි.

 ඔවුන් සන්තකයේ තිබූ රුපියල් එක්කෝටි දසලක්ෂයකට වඩා වටිනාකමින් යුත් හෙරොයින් කිලෝ 1 ග්‍රෑම් 50ක්, මෙම ජාවාරම් සඳහා භාවිත කළ ත්‍රිරෝද රථ දෙකක්, යතුරුපැදි තුනක්, වැගන් ආර් වර්ගයේ කාර් රථයක්, හෙරොයින් අලෙවියෙන් උපයාගත් රුපියල් ලක්ෂ දහයකට අධික මුදලක් හා ජංගම දුරකතන, කිරුම් උපකරණ, හෙරොයින් ඔතන විශේෂ මුද්‍රිත කොළ සහ පෞද්ගලික බැංකුවක මුදල් තැත්පත් කළ ගිණුම් පොත් ඇතුළු දේපළ සොයා ගැනීමට හැකි වූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.

 දැනට බන්ධනාගාරගතව සිටින මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවකු වන 'අයි.ඩී. දර්ශන' යන අය විසින් දුරකතන මාර්ගයෙන් සිදුකරනු ලබන මෙම හෙරොයින් ජාවාරමට සම්බන්ධ පිරිමි පස්දෙනකු හා එක් කාන්තාවක් ද නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

සැකකාරිය සහ සැකකරුවන් පිළියන්දල බෝකුන්දර පාසල් මාවත ප්‍රදේශයේ කුලී පදනම මත ලබාගත් නිවසක නැවැතී හොරණ ප්‍රදේශයේ ඇති නිවසේ සිටම ඇසුරුම් කරන මත්ද්‍රව්‍ය කුඩා පැකැට් බොරලැස්ගමුව, මොරටුව, හොරණ, මිනුවන්ගොඩ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවලට බෙදා හැර ඇතැයි ද මූලික විමර්ශනවල දී හෙළි වූ බවත් අත්අඩංගුවට පත් පුද්ගලයන් වයස අවුරුදු 26 සිට 45 දක්වා වයස් කාණ්ඩවල පසුවන අය බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.

 නුගේගොඩ දූෂණ මර්දන කොට්ඨාසය සිදු කළ වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තවත් කිහිපදෙනකුම එකතුව ජාලයක් වශයෙන් සංවිධානය වී හෙරොයින් ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවය.

බන්ධනාගාරගතව සිටින ප්‍රධාන ජාවාරම්කරු ජංගම දුරකතන භාවිත කර මෙම ජාවාරම් ක්‍රියාත්මක කරන බව ද හෙළිවී ඇත.  ඔවුන් සොයා විශේෂ පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර පැය 48ක රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර පරික්ෂණ සිදු කර කිරීමට නියමිත බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙත්තකෝන් මහතාගේ පූර්ණ අධීක්ෂණයට යටතේ බස්නාහිර පළාත දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති කපිල කඩුපිටිය, බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් රත්නායක මහතාගේ උපදෙස් පරිදි නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ජනශාන්ත කහටදෙනිය, උපපොලිස් පරික්ෂක ආසිරි ජයසුරිය යන මහතුන්ගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් 41127 රුවන්, 54478 වසන්ත, 35358 සම්පත්, 18986 සම්පත්, පොලිස් කොස්තාපල්වරුන් වන 51508 උදයංග, 74780 රේණුක, 85511 සෙනරත්, 87814 ධනුෂ්ක යන නිලධාරින් මෙම වැටලීම සිදුකර ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.

(බණ්ඩාරගම - බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ දෙහිවල- එච්.එම්.ධර්මපාල)