ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය මේ වනවිට දැඩි මූල්‍ය අරබුදයකට පත්ව තිබෙන අතර ආචාර්යවරුන්ට වැටුප් ගෙවා ගැනීමට පවා නොහැකි තත්වයක් උද්ගතව ඇතැයි ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයීය ආචාර්ය සංගමය සඳහන් කරයි.
විවෘත විශ්වවිද්‍යාලයේ ස්ථිර කාර්යමණ්ඩලයට වැටුප් ගෙවීම සඳහා මසකට රුපියල් මිලියන190ක පමණ මුදලක් අවශ්‍ය වුවද රජය මගින් ලබාදෙන්නේ රුපියල් මිලියන 150ක පමණ ප්‍රමාණයකැයි ද ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලීය ආචාර්ය සංගමයේ සභාපති දිලීප විතාරණ මහතා පැවසීය.

විශ්වවිද්‍යාලයේ අනෙකුත් කටයුතු සඳහා යොදාගැනීමට සිදුව ඇත්තේ ශිෂ්‍යයන්ගෙන් ලබාගන්නා පාඨමාලා ගාස්තුවල මුදල් යැයිද හෙතෙම සඳහන් කළේය. රජය අරමුදල් කප්පාදු කිරීම නිසා විශ්වවිද්‍යාලයේ නොයෙකුත් වියදම් කපාහැර ඇති අතර අනධ්‍යයන සේවකයන්ගේ අතිකාල, ආචාර්යවරුන්ගේ විදේශ ශිෂ්‍යත්ව හා විදේශ සම්මන්ත්‍රණ ආදීය මේ වනවිට සම්පුර්ණයෙන්ම නතරවී ඇතැයි ද දිලීප විතාරණ මහතා කීවේය.

ආචාර්යවරුන්ගේ වැටුප් ගෙවීමේ කාර්යයෙන් රජය අර්ධ වශයෙන් ඉවත්වීම, ශිෂ්‍යයින්ගේ ගාස්තු මත යැපීමට විශ්වවිද්‍යාලයට බලකිරීම ආදී කටයුතු මගින් විවෘත විශ්වවිද්‍යාලය පෞද්ගලීකරණය වීමේ තත්වයක් නිර්මාණය වී ඇතැයි ද ඔහු කීය. වැඩකරන ජනතාවට උසස් අධ්‍යාපන කටයුතුවල නිරත විය හැකි එකම විශ්වවිද්‍යාලය විවෘත විශ්වවිද්‍යාලය වන අතර එය පෞද්ගලීකරණය කිරීම බරපතළ තත්ත්වයකැයිද ආචාර්ය සංගමයේ සභාපතිවරයා පැවසීය.

(රංජන් කස්තුරි)