ගම්පහ මිනුවන්ගොඩ පැරණි මාර්ගය ආසන්නයෙන් ගලා බසිනා අත්තනගල ඔය ඇළ ආසන්නයේ බිම වැටී සැකකටයුතු අන්දමින් මියගොස් තිබූ
වෛද්‍යවරයකුගේ මළ සිරුරක් පෙරේදා (18) උදේ ගම්පහ පොලීසිය මගින් සොයාගනු ලැබීය. එසේ මියගොස් ඇත්තේ යක්කල පිටුවල්ගොඩ පදිංචි රාමනායක මුදියන්සේලාගේ ජයශාන්ත ජයසිරි  රාමනායක
(50) නමැති අයකු බවට හඳුතාගෙන ඇත.
මියගිය අය මියගොස් සිටි ස්ථානයේ තිබි ඔහුට අයත් යතුරුපැදියද හමුවූ බව පොලීසිය පවසයි.

මිය ගිය ‍වෛද්‍යවරයා ගම්පහ රෝහලේ සේවය කරමින් සිට ඇති අතර මීට වසර කිහිපයකට පෙර ඩුබායි ගොස් සිටි බවද පොලිසිය කළ පරික්ෂණවලින් හෙළි වී ඇත. පසුගිය දෙසැම්බර් මස නැවත ලංකාවට පැමිණ ඇති බවත් තිදරු මවක් වූ තම බිරිඳ නැවත දරු ප්‍රසුතියක් සදහා සුදානමින් සිටින අතර ඇයට ආහාර රැගෙන යමින් සිටියදී මෙම සිද්ධිය සිදුවී ඇති බවට පොලිසිය කළ පරික්ෂණවලින් හෙළි වී ඇත. මියගිය අයගේ මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරික්‍ෂණය ගහ වැඩබලන මහේස්ත්‍රාත් ඉන්දික වේරගොඩ මහතා විසින් 18 වැනිදා දහවල් පවත්වනු ලැබීය. සිද්ධිය වූ ස්ථානය සහ මළසිරුර
පරික්ෂා කළ වැඩබලන මහේස්ත්‍රාත්වරයා එම මළ සිරුර ගම්පහ මහ රෝහල් මෘත ශරීරාගාරය වෙත රැගෙන යන ලෙසට ගම්පහ පොලීසියට නියම කළේය.
එම මළසිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්‍ෂණය පවත්වන ලෙසට ගම්පහ මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට නියම කළ වැඩබලන මහේස්ත්‍රාත්වරයා එම මරණයට හේතුව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අධිකරණ  වෛද්‍ය නිලධාරි වෙත වැඩිදුරටත් නියම කළේය.
ගම්පහ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික ද සිල්වා සහ සහකාර පොලිස් අධිකාරි තුසිත කුමාර යන මහත්වරුන්ගේ උපදෙස් මත පොලිස් පරික්ෂක රංග ගුණසේකර ඇතුළු නිලධාරිහු එම සැකකටයුතු මරණය සම්බන්ධයෙන් ගම්පහ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරති.

(ගම්පහ අධිකරණ - ටෝනි කරුණානායක)