කොරෝනා මර්ධනය සම්බන්ධයෙන් කටයුතු කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් පත් කළ තාක්ෂණික කමිටුව මාසයකට අධික කාලයක් රැස් වී නැතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ශෙනාල් ප්‍රනාන්දු මහතා අනාවරණය කරනවා.
පාසල් මේ වන විට විවෘතව ඇති බවත් පාසල් තුල සෞඛ්‍ය උපදෙස් නොපිළිපැද්දහොත් මෙය සමාජය තුළ පැතිර ගොස් දෙවන රැල්ලක් අභියස මෙරට සිටින බවට එම මහතා පෙන්වා දෙනවා.

පසුගිය සති දෙකක කාලය තුල දිනකදී සිදු කළ වැඩිම පරීක්ෂණ ගණනත් 1600ක් පමණක් බව පෙන්වා දෙන වෛද්‍ය ශෙනාල් ප්‍රනාන්දු මහතා සෞඛ්‍ය අමාත්‍යංශය විසින්ම නිකුත් කළ උපදේශන වලට අනුව අවම වශයෙන් දිනකට 2500ක් වත් පරීක්ෂණ සිදු කළ යුතුව ඇති බව පෙන්වා දෙනවා.

කන්දකාඩු වලට ඇතුලත් කළ සියළු දෙනාම පරීක්ෂණයෙන් කොරෝනා නොමැති බවට පැවසුණු අය බවත් එසේ තිබියදී ඔවුන් කොරෝනා රෝගීන් බවට පත් වීමට හේතුව නැවත නැවත පරීක්ෂණ නොකිරීම බව එම මහතා පවසනවා.

රට තුළ දෙවන රැල්ලක් මතුවුවහොත් ඊට වගකිවයුත්තන්ගේ නම් ගම් හෙළි කිරීමට පැකිළෙන්නේ නොමැති බවද එම මහතා අවධාරණය කර සිටියා.

රටේ කොරෝනා සඳහා වෙන් වූ රෝහල් මේ වන විට හිස්ව පවතින තත්වයක් පවතිද්දී තවත් මිලියන ගණනක් වියදම් කර කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය රෝහලක් බවට පත් කරමින් සිටින බව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.

රෝගියෙකු හට හදිසියේ අසාධ්‍ය තත්වයක් ඇති වුවහොත් ඔහුට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය උපකරණ කිසිවක් කන්දකාඩු හි නොමැති බව පෙන්වා දෙන එම මහතා කොරෝනා රෝගයේ තත්වයේ බරපතලකම යට ගැහීමට උත්සහයක් ඇති නමුත් එය සැඟවිය හැහි දෙයක් නොවන බව පෙන්වා දෙනවා.