ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් පී.සී.ආර්. පරීක්ෂණවලට ලක්කළ කෝවිඩ් 19 ආසාදිතයන් දෙදෙනෙකුගේ ආශ්‍රිතයන් 101 දෙනා අතුරින් ඥාති සමීපතමයන් දෙදෙනෙකුටද රෝගය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙන බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි.
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙහි උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ ගම්පහ, වැරැල්ලවත්ත පදිංචි උපදේශකවරයෙකු සහ ඔහුගේ රියැදුරු ලෙස කන්දකාඩු මධ්‍යස්ථානයට ගිය බණ්ඩාරවත්ත පදිංචිකරුවෙකුගේ ආශ්‍රිතයත් ඇතුළු ගම්පහ අධිකරණයෙහි පිරිසක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මඟින් ඉකුත් 15 වෙනිදා පී.සී.ආර්. පරීක්ෂණයට ලක්කිරීමට පියවර ගනු ලැබිණි.

මෙහිදී ආශ්‍රිතයන් 101 දෙනෙකු පරීක්ෂාවට ලක්කළ අතර, එහි වාර්තා අනුව අධිකරණයෙහි පිරිස අතුරින් කිසිවෙකුටත් වෛරසය ආසාදනය වී නොමැති බවත්, බණ්ඩාරවත්ත පදිංචි ආසාදිතයාගේ සමීපතමයන් දෙදෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙන බවත් අප කළ විමසුමකට පිළිතුරු දෙමින් ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ මහතා සඳහන් කළේ ය.

මෙම ආසාදිතයන් බණ්ඩාරවත්ත සහ වැරැල්ලවත්ත යන ප්‍රදේශවල පදිංචි 63 හැවිරිදී තැනැත්තියක් සහ 45 වියැති පුද්ගලයෙකු වන අතර, මෙම දෙදෙනා රියැදුරු වශයෙන් කටයුතු කළ පුද්ගලයාගේ ඥාතීන් දෙදෙනෙකි. මෙම දෙදෙනා ඉකුත් 17 වැනිදා රාත්‍රියේම ප්‍රතිකාර පිණිස මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා කීය.

කෝවිඩ්-19 රෝග ආසාදිතයෙකු බවට තහවුරුවී සිටින වැරැල්ලවත්තේ පදිංචි 45 හැරිදී තැනැත්තා ගම්පහ නගරය ආශ්‍රිත විදුහලක ගුරුවරයෙකු ලෙස කටයුතු කරන්නෙකු බවත්, ඔහු ස්ථාන කිහිපයක පෞද්ගලික පන්තිවලදී භෞතික විද්‍යාව විෂය උගන්වා ඇති බවත් අනාවරණය වී ඇතැයිද වෛද්‍ය සුභසිංහ මහතා පැවසීය.

මේ වනවිට ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බණ්ඩාරවත්තේ කාන්තාව සහ වැරැල්ලවන්ත පදිංචි ගුරුවරයාගේ සමීපතමයන් සහ උපකාරක පත්තිවලට සහභාගි වූ සිසු සිසුවියන් පිරිස ඇතුළු ඔවුන්ගේත්පවුල්වල සාමාජිකයන්ද නිරෝධායනයට ලක් කිරීම පිණිස බියගම විලේජ් හෝටලය වෙත යොමුකොට 113 දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂාවට ලක්කිරීමට පියවර ගනු ලැබූ බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා කියා සිටියේය.

- තිලකරත්න දිසානායක -