කෑම ගැනීමෙන් පසු ඉරටු කැබැල්ලක් මගින් දත් හැරීමට පුරුදුව සිටි තිදරු පියකුගේ මුඛය හරහා විෂබීජයක් ශරිර ගතවීමෙන් ඔහු මියගොස් ඇති බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පැවති හදිසි මරණ පරික්ෂණයකදී අනාවරණය විය.



මියගොස් ඇත්තේ වඩුනේත්‍රිගේ ජයන්ත (55) නැමැති වලමුල්ල දොඩන්දුව ප්‍රදේශයේ පදිංචි පෙදරේරුවෙකි. හදිසි මරණ පරීක්ෂණය ගාල්ල නාගරික හදිසි මරණ පරීක්ෂක මහේෂ් ධර්මරත්න මහතා විසින් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දී පැවැත්විණි. එහිදී මියගිය අයගේ බිරිඳ වන හේමලතා වික්‍රමරත්න (54) මහත්මිය සාක්ෂි ලබාදෙමින් මෙසේ කීවාය.

මියගොස් සිටින්නේ මගේ ස්වාමිපුරුෂයාය. මට දරුවන් තිදෙනකු ඉන්නවා. මහත්තයා මේසන් වැඩකරනවා. මා දන්නා පරිදි මහත්තයාට කිසිදු අසනීපයක් තිබුණේ නැහැ.

දින 04ක පමණ සිට දත් කැක්කුමක් ආවා. මුබයත් ඉදිමුණා. පසුව ආරච්චිකන්ද රෝහලට රැගෙන ගියා. බොන්න බෙහෙත් දුන්නා. පසුව වමනය ආවා. නැවත පුද්ගලික වෛද්‍යවරයකු ළගට ප්‍රතිකාර ගැනීමට ගියා. මහත්තයාට හතිය ආවා. උදරය පුරවා දමලා තිබුණා. මහත්තයා සාමාන්‍යයෙන් කෑම ගැනීමෙන් පසු ඉරටු කැබලි දමා දත් හාරනවා. වේදනාව වැඩි නිසා කරාපිටිය රෝහලට රැගෙන ආවා. කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මහත්තයා මියගියා. මරණය ගැන සැකයක් නැහැ. මුඛය හරහා විෂබීජයක් ගිහින් ඇති බව
වෛද්‍යවරු කීවා .

 පශ්චාත් මරණ පරීක්ෂණයක් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි යු.ජී.ඩී ජයරත්න මහතා විසින් කළ අතර ඉදිරිපත් වූ සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් මරණ පරික්ෂකවරයා මුඛය හරහා විෂබීජයක් රුධිරගත වීමෙන් නිව්මෝනියා තත්වයට පත්වීමෙන් මරණය වී ඇති බවට තීන්දු කළේය.

(යක්කලමුල්ල ජේ.කේ.එල් චාමින්ද)