බාහිර උපාධි පාඨමාලා සදහා නවක සිසු සිසුවියන් ලියාපදිංචියට පණවා ඇති සීමා ඉවත් කිරීමට රජයේ අවධානය යොමු ව ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
සමස්ථ ලංකා බාහිර උපාධිධාරින්ගේ සංගමයේ රැස්වීමක දී ඇමතිවරයා මේ බව සදහන් කළේය. රැස්වීම ඊයේ (25) නයිවල ජයසිංහ උත්සව සිටි සෙන්ටර් හිදි පැවැත්විණි.

ඇමතිවරයා මෙහිදී කියා සිටියේ පහුගිය යහපාලන රජයේ හිටපු උසස් අධ්‍යාපන ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් 2016 අංක 17 දරණ චක්‍ර ලේඛය නිකුත් කරමින් බාහිර උපාධි පාඨමාලා සදහා සිසුන් බදවා ගැනීම සීමා කර තිබු බවයි. මේ හේතුවෙන්  2016, 2017, 2018 හා 2019 යන අධ්‍යනය වර්ෂවල
සිසු සිසුවියන් 25,000 කට පමණ උපාධි වරම් අහිමි වී තිබේ. සමස්ථ ලංකා බාහිර උපාධිධාරින්ගේ සංගමය මේ පිළිබදව සිය අවධානය යොමු කිරිමෙන් පසු ජනාධිපතිවරයා, අගමැතිවරයා, උසස් අධ්‍යාපන ඇමතිවරයා සහ විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ සභාපතිවරයා සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත් ඒ අනුව ඉතා කඩිනමින් මෙම ගැටළුවට විසදුම් ලබාදීමට එකගත්වය පළ වු බවත් ඇමතිවරයා මෙහිදී කියා සිටියේය.
දැනට ලියාපදිංචිය සීමා කර ඇති 2016,2017,2018 හි 2019 යන වර්ෂවල සිසු සිසුවියන් ඉදිරියේ දි ලියාපදිංචි කර ගැනීම සදහා රජයේ අවධානය යොමුව තිබේ. අවස්ථා 04 කදී ඔවුන් ලියාපදංචි කර ගැනීමට නියමිත අතර ඉතා ඉක්මණින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂම ඊට අදාළ පියවර ගනු ඇතැයි තමන් විශ්වාස කරන බවද ඇමතිවරයා කීවේය.
මෙම රැස්වීමේ දී වැඩිදුරටත් අදහස් පළ කළ ඇමති ප්‍රසන්න රණතුංග මහාත ප්‍රකාශ කළේ බාහිර උපාධි පාඨමාලා වල ගුණාත්මක භාවය ඉහළ නැංවීම කෙරෙහි රජය පූර්ණ අවධානය යොමු කර ඇති බවයි.  දැනට රජයේ විශ්ව විද්‍යාල සහ විවිධ උසස් අධ්‍යාපන ආයතන වලට ඇතුළු කර ගන්නා ශීෂ්‍ය සංඛ්‍යාව වැඩි කිරිමට අපේක්ෂිතයි.