ලංකාවේ ප්‍රථම වරට නවීන තාක්ෂණය ඔස්සේ GPS හා ඩ්‍රෝන යානා තාක්‍ෂණය භාවිත කරමින් ජාතික තරුණ සේවා සභාවට අයත් අගුණකොළපැලැස්ස එරමිණියාය පුහුණු මධ්‍යස්ථාන භූමීයේ කෂිකාර්මික බීජ රෝපණය කිරීමේ වැඩසටහනක් ඊයේ (15දා) පැවැත්විණි.



කෝවිඩි 19 වසංගත තත්ත්වය හමුවේ සමස්ත ලෝකවාසීන් මුහුණපා සිටින ආහාර අර්බුදයට විසඳුමක් ලෙස ශ්‍රී ලාංකික තරුණ තරුණියන් වගා කටයුතු සදහා නැඹුරු කිරීමේ අරමුණින් ජාතික තරුණ සේවා සභාව මගින් එරමිණියාය ගොවිපළද නවීන තාක්ෂණය යොදාගනිමින් ආදර්ශ ගොවිපළක් ලෙසින් සංවර්ධනය කිරීම ආරම්භ කර තිබේ.

ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ ජනරාල්/ සභාපති තෙෂාර ජයසිංහ මහතාගේ සංකල්පයක් මත
මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර, මෙහිදී සත්ව ආහාරයට අවශ්‍ය කාෂිකාර්මික බීජ මෙලෙස වගා කෙරේ.

තරුණ සේවා සභාවේ නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරෙන අතර, ඉදිරියේදී ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා කාෂිකාර්මික කටයුතුවල නිරත වන තරුණ තරුණියන් වෙත මෙම තාක්ෂණික දැනුම ලබාදී නවීන තාක්ෂණය ඔස්සේ ශ්‍රී ලංකාව පුරාම වගා කටයුතු ව්‍යාප්ත කිරීම තම අරමුණ බව ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ ජනරාල් /සභාපති තෙෂාර ජයසිංහ මහතා මෙහිදී පැවසීය.

(හම්බන්තොට-රාහුල් සමන්ත හෙට්ටිආරච්චි)