දෙනියාය ගාල්ල ප්‍රධාන මාර්ගයේ කනංකේ මහා විද්‍යාලය ඉදිරිපිට දී පෙරේදා (04) පෙරවරු 11.50 ට පමණ මෝටර් රථයක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටී ත්‍රිරෝද රථය පැදවූ කාන්තාව බරපතළ තුවාල ලබා ඉමදූව රජයේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බව කනංකෙ පොලිසිය පවසයි.



මෙසේ මියගොස් ඇත්තේ (27) හැවිරිදි බෙලිඅත්තකුඹුර, දෙනියාය එක් දරු මවක වූ කොට්ටව කංකානම්ගේ නිලූකා දමයන්ති යන අය බව පොලිසිය කියයි. අනතුරින් ත්‍රිරෝද රථයේ පිටුපස ගමන්ගත් ඇයගේ මව ස්වාමි පුරුෂයා ද බරපතළ තුවාල ලබා ඉමදුව රජයේ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇත. ඔවුන්ගේ අවුරුද්දයි මාස අටක් වයසැති කුඩා දියණිය සහ සහෝදරියකගේ දියණියන් දෙදෙනෙකු ද ත්‍රිරෝද රථයේ ගමන් කර ඇති අතර අවුරුද්දයි මාස අටක් වයසැති දියණයට අනතුරින් කිසිදු හානියක් සිදු වී නොමැති අතර අනෙක් දියණියන් දෙදෙනා සිහිසුන්ව රෝහල්ගත කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

අනතුර සිදු වන අවස්ථාවේ ත්‍රිරෝද රථය දෙනියාය ප්‍රදේශයේ සිට ගාල්ල දෙසට ගමන් කර ඇති අතර ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි මෝටර් රථය එහි ගැටී ඇති බව පොලිසිය සඳහන් කරයි. මියගිය කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් කනංකෙ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

(දෙනියාය විශේෂ එස්.ඩී. කොඩිකාර සහ කනංකේ එන්.කේ.ඉන්ද්‍රවංශ)