හෝමාගම පනාගොඩ ලේලන්ඩ් පාරේ කමරාලන්ද  ඉඩමේ තිබී අභිරහස් ලෙස මියගිය පුද්ගලයකුගේ මළ සිරුරක් පෙරේදා (13) සොයාගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ හෝමාගම, පනාගොඩ, ලේලන්ඩ් පාරේ, අංක 430/3 හි පදිංචි පෙලවාදුරගේ චමිල සම්පත් (42) නමැති ත්‍රිරෝද රථ
රියැදුරකු බව පොලිසිය කියයි. මියගිය පුද්ගලයා ඉකුත් 10 වැනිදා දහවල් 11.15ට පමණ සිය පාපැදියෙන් නිවසින් බැහැරට ගොස් ඇති අතර එදින රාත්‍රී නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් රැකියාවට ගොස් පැමිණි බිරිය සැමියා පිළිබඳව හිතවතුන්ගෙන් විපරම්  කර ඇතැයි පොලිසිය පවසයි.

ඒ පිළිබඳව කිසිදු හෝඩුවාවක් නොලැබීම නිසා ඥාතීන් හා ගම්වාසීන් එක්ව අතුරුදන් වූ පුද්ගලයා ප්‍රදේශය පුරා සොයා විපරම් කරන අතරතුරදී පනාගොඩ ලෙලන්ඩ් පාරේ කමරාලන්ද ඉඩමේ  කැලෑබද පෙදෙසක පාපැදිය තිබී ඥාතීන්ට හමුවී ඇතැයි පොලිසිය පවසයි. පසුව අවට කැලෑබද පෙදෙස දිගින් දිගටම සෝදිසි කිරීමේදී වසර ගණතාවක සිට අතහැර දමා තිබූ ගල් වළක් අසල කැලෑබද පෙදෙසක අතුරුදන් වූ පුද්ගලයාගේ මළ සිරුර තිබී සොයාගෙන ඇති බව පොලිසිය පවසයි.  පසුව මේ පිළිබඳව අතුරුගිරිය පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලිස් නිලධාරීන් එම  ස්ථානයට පැමිණ පරික්ෂා කිරීමේදී දින කිහිපයකට  පෙර මියගිය බවට සැක කෙරෙන මෙම මළ සිරුර සොයාගත් බව පොලිසිය කියයි. ඒ වන විටත් සිරුර හඳුනාගත නොහැකි තරමටම  හිස සහ සිරුරේ ස්ථාන කිහිපයක් සතුන් විසින් කා දමා තිබූ බව ද පොලිසිය කියයි.

හෝමාගම හදිසි මරණ පරීක්‍ෂක සාමවිනිසුරු චින්තක උදයකුමාර මහතා එම ස්ථානයට පැමිණ
ස්ථානීය පරික්ෂණයක් සිදුකොට පශ්චාත් මරණ පරික්‍ෂණය සඳහා සිරුර කොළඹ පොලිස් මෘත ශරීරාගාරයට රැගෙන යන ලෙස පොලිසියට නියෝග කළේය. ඒ අනුව මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරික්‍ෂණය කොළඹ පොලිස් මෘත ශරීරාගාරයේදී පෙරේදා (13) සිදුකළ අතර එහිදී මරණයට හේතුව නොදක්වා සිරුරේ කොටස් රජයේ රස පරික්‍ෂක වෙත යොමු කොට විවෘත තීන්දුවක් ලබාදීමට අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඩී.එල්.එම්. සමරනායක මහතා තීරණය කර තිබුණි.

-ශාන්ත ප්‍රදීප් කුමාර-