රත්නපුර ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයා ගැවසුණු බව කියන පිළියන්දල නගරයේ ව්‍යාපාරික ස්ථාන හතරක් වසාදමා, ඔහුගේ මව පදිංචි නිවස ඇතුළු නිවෙස් හතරක පදිංචි තිස් නව දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක්කළ බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඉන්දික එල්ලාවල මහතා පැවසීය.



නිරෝධානයට ලක්කළ පිරිස අතර පාසල් ශිෂ්‍යයෙකුද සිටින බව ඔහු කීය.

වාර්තා වන පරිදි රත්නපුර ප්‍රදේශයේ පදිංචි, කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ සේවයේ නියුතු යුද හමුදා නිලධාරියෙකු වන මෙම ආසාදිතයා නිවාඩු ලබා ඉකුත් 03 වැනිදා ඔහුගේ මව පදිංචි පිළියන්දල ජල්තර ප්‍රදේශයේ නිවසට පැමිණ තිබේ.

අනතුරුව ඔහු සිය බිරිඳ සමග පසුදින පිළියන්දල නගරයේ වෙළෙඳ සැල් තුනකට සහ පිළියන්දල, හැඩිගම පාරේ පිහිටි ගරාජයකට ගොස් ඇත. අනතුරුව 05 වැනිදා යළි රත්නපුර පිහිටි සිය නිවසට ගොස් සිටියදී ඔහුට වෛරසය වැලඳී ඇති බවට තහවුරුවී ඇතැයි පැවසේ.

මේ පිළිබඳ වාර්තාවීමත් සමඟ ඉහත වෙළෙඳසැල් සහ ආයතන නිරෝධායනයට ලක්කොට, එහි සේවය කළ 25 දෙනකු ස්වයං නිරෝධායනයට ලක් කළ බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය.

මේ අතර යුද හමුදා නිලධාරියාගේ මව පදිංචි නිවස ඇතුළු නිවෙස් පහක්ද, ඒවායේ පදිංචි දොළොස් දෙනෙකුද ස්වයං නිරෝධායනයට ලක්කළ බවද ඒ මහතා කියා සිටියේය.

එසේම මෙම යුද හමුදා නිලධාරියා පිළියන්දල නගරයට පැමිණි අවස්ථාවේදී නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවක ටෙලර් යන්ත්‍රයකින් මුදල් ලබාගෙන ඇති අතර, ඉන් පසුව මුදල් ලබාගත් පාසල් සිසුවෙකු, කාන්තාවක සහ තවත් පුද්ගලයෙකු ස්වයං නිරෝධායනයට ලක් කිරීමට කටයුතු ආරම්භ කර ඇතැයිද වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා වැඩිදුරටත් පැවසීය.

මේ වනවිට අදාළ ටෙලර් යන්ත්‍රය සහ අවට ප්‍රදේශය විෂබීජහරණයට ලක්කර ඇති බවද පැවසේ.

- මත්තෙගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න -