බන්ධනාගාරයෙන් නිදහස්ව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යෑම සඳහා ඇතැම් සිරකරුවන් හා සිරකාරියන් කොරෝනා වයිරසය ආසාදනය කර ගැනීමට උත්සාහ කරමින් සිටින බවට තොරතුරු වාර්තා වී ඇති බව බුද්ධි අංශ මඟින් බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත දන්වා යවා ඇති බව බන්ධනාගාර ප්‍රකාශකයෙක් පැවැසීය.
මරණීය දඬුවම ඇතුළු දීර්ඝකාලීන
සිර දඬුවම් විඳිමින් සිටින ඇතැමුන් එසේ කොරෝනා වයිරසය ආසාදනය කර ගැනීමට උත්සාහ කරන බවද බුද්ධි අංශ මඟින් බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී ඇති බවද එකී ප්‍රකාශකයා පැවැසීය.
එකිනෙකා අතර දුම්වැටි සංසරණය කර භාවිතයට ගැනීම ඇතුළු ක්‍රමවේද තුළින් ඔවුන් එකී වයිරසය
ආසාදනය කර ගැනීමට උත්සාහ කරන බවද තමන්ටද එම වයිරසය ආසාදනය වේවා යැයි ඇතැම් සිරකරුවන් හා සිරකාරියන් කන්නලව් කරන බවද වාර්තා වෙයි.
නිරෝධායන මධ්‍යස්ථාන තුළට ඇතුළුවීමෙන් පසු එකී ස්ථානවලින් පැනයෑම ඇතැම් සිරකරුවන්ගේ අදහස වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවද වාර්තා වෙයි.

කුමුදු උපුල් ශාන්ත