වැඩ තහනම් කිරීමෙන් සහ ස්ථාන මාරු කිරීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි කියමින් ඒ වෙනුවෙන් රුපියල් කෝටියක වන්දියක් අය කර දෙන්නැයි ඉල්ලා රහස් පොලීසියේ හිටපු අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (15දා) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

 රහස් පොලිස් අධ්‍යක්ෂ ධුරයේ තමන්ව  යළි පිහිටුවන ලෙස ජාතික පොලිස් කොමිසමට නියෝගයක් නිකුත් කරන්නැයිද, සිය වැඩ තහනම් කිරීමට සහ ස්ථාන මාරු සිදු කිරීමට ජාතික පොලිස් කොමිසම ගත් තීරණය අවලංගු කරන්නැයිද පෙත්සම්කාර ශානි අබේසේකර මහතා සිය පෙත්සමෙන් ඉල්ලීමක් කොට ඇත.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා විසින් ගොනු කොට ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, ජාතික පොලිස් කොමිසම, එහි සභාපතිවරයා ඇතුළු සාමාජිකයන්, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඇතුළු එම කොමිසමේ සාමාජිකයන් සහ නීතිපතිවරයා ඇතුළු 17 දෙනෙකු නම් කොට ඇත.

නීතිඥ මංජුල බාලසූරිය මහතා මාර්ගයෙන් ශානි අබේසේකර මහතා ගොනු කළ පෙත්සම් ඔහු ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු මෙන්ම රහස් පොලීසියේ අධ්‍යක්ෂවරයෙකු බවද. රටේ සිදු වූ සූක්ෂම හා දරුණු ගණයේ අපරාධ රැසක් හෙළි කළ විශිෂ්ට පොලිස් නිලධාරියෙකු බවද සඳහන් කොට ඇත.

පසුගිය ජනාධිපතිවරණයෙන් පසු නොවැම්බර් මස 21 වැනිදා කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් කර ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාර ලෙස මාරු කර හැරීමට ජාතික පොලිස් කොමිසමේ උපදෙස් මත වැඩබලන පොලිස්පතිවරයා පියවර ගෙන ඇතැයිද, ජීවිත තර්ජන හේතුවෙන් තමන්ට ලබා දී තිබූ විශේෂ ආරක්ෂාවද ඒ සමගම ඉවත් කළ බවද සඳහන් කරන පෙත්සම්කරු, ඉන් අනතුරුව ආන්දෝලනයකට තුඩු දුන් හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ දුරකථන හඩපට සිද්ධියෙන් පසු ඉකුත් ජනවාරි මස 07 වැනිදා තමන්ගේ වැඩ තහනම් කිරීමට ජාතික පොලිස් කොමිසම පියවර ගෙන ඇතැයිද සඳහන් කොට ඇත.

" වැඩ තහනම් කිරීමෙන් පසු පැවැත්විය යුතු මූලික විමර්ශන මෙතෙක් පවත්වා නැතැයිද, ආයතන සංග්‍රහයේ විධිවිධාන අනුව මූලික විමර්ශනය මාස දෙකක් තුළ පැවැත්විය යුතු වුවද එවැනි මූලික විමර්ශනයක් පවත්වා නැතැයිද, පෙත්සම්කරුගේ ස්ථාන මාරුව සම්බන්ධයෙන් කිසිදු සාධාරණ හේතු දැක්වීමක් සිදු කර නැතැයි සහ ඒ සඳහා නෛතික පදනමක් නැතැයිද සඳහන් කරන පෙත්සම්කරු, රහස් පොලීස් අධ්‍යක්ෂවරයාව සිටියදී රටේ ආන්දෝලනාත්මක සිද්ධීන් ගණනාවක්විමර්ශනය කර ඇති තමන්ගේ ස්ථාන  මාරුව යටි අරමුණකින් සිදු කර ඇතැයිද සඳහන් කොට ඇත.

 සහකාර පොලිස් අධිකාරීවරයෙකු ලෙස කටයුතු කිරීමේදී පවා විශේෂ ආරක්ෂාවක් ලබා දී තිබූ තමන්ගේ ආරක්ෂාව ඉවත් කොට ඇති හෙයින් තමාගේ සහ පවුලේ අයගේ ජීවිතවලට තර්ජන එල්ල වී ඇතැයිද සඳහන් කරන පෙත්සම්කරු, තමාගේ ස්ථාන මාරු කිරීමට සහ වැඩ තහනම් කිරීමට ජාතික පොලිස් කොමිසම ගත් තීරණ මුළුමනින්ම නීතියට පටහැනි  බවත්, වැඩ තහනම් කර මාස ගණනාවක් ඒ ගත වී තිබුණද මේ දක්වා විධිමත් විනය පරික්ෂණයක් හෝ පවත්වා නොමැති බවත් සඳහන් කොට ඇත.

වගඋත්තරකරුවන්ගේ මෙම ක්‍රියාකලාපය තුළින් පෙත්සම්කරුගේ මූලික අයිතීන් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන්නැයිද, ස්ථාන මාරුව සහ වැඩ තහනම් කරමින් ජාතික පොලිස් කොම නිකුත් කර තිබෙන නියෝග බල රහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන්නැයිද ඉල්ලා සිටින පෙත්සම්කරු, රහස් පොලිස් අධ්‍යක්ෂ ධුරයේ තමන් යළි පිහිටුවන ලෙස ජාතික පොලිස් කොමට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියි. තමන්ට පෙර ලබා දී තිබූ ආරක්ෂාව යළි ලබාදෙන ලෙසට පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටින පෙත්සම්කාර ශානි අබේස්කර මහතා සිය මුලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම
හේතුවෙන් තමන්ට රුපියල් කෝටියක වන්දියක්  අය කර දෙන්නැයි ඉල්ලා සිටියි.

• බුද්ධිමාල් රුබේරු