හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී, නැගෙනහිර පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දීමෙදී සංවේදී තොරතුරු හෙළිදරව් වන අවස්ථාවල මාධ්‍යවේදීන් කොමිසම වාර්තාකරණයෙන් ඉවත් කිරීමට කොමිසම ඊයේ (27) තීරණය කළේය.



තමන්ගේ සාක්‍ෂිය තුළ රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ සංවේදී තොරතුරු ඇතුළත් වන නිසා ඒවා ප්‍රසිද්ධ වීමෙන් රාජ්‍ය ආරක්ෂාවටත්, තමන්ගේ හා තම පවුලේ සාමාජිකයන්ගේ ජීවිතාරක්ෂාවටත් ගැටලුවක් විය හැකි බැවින් සාක්ෂි දෙන අවස්ථාවේ කොමිසම් සභා ශාලාවෙන් මාධ්‍යවේදීන් ඉවත් කරන ලෙස නිලන්ත මහතා කොමිසමෙන් ඉල්ලා සිටියේය.

එසේම සංවේදී තොරතුරු අනාවරණය වීම වළක්වා ගනිමින් සාක්ෂිකරුගෙන් සාක්ෂි විභාග කිරීම තමන්ටද අපහසු කාර්යයක් බැවින් හිටපු බුද්ධි ප්‍රධානීගේ සාක්ෂි විභාගයේදී මාධ්‍යවේදීන් කොමිසමෙන් ඉවත් කිරීම සුදුසු බවට නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේකෙ සොලිසිටර් ජනරාල්වරියද කරුණු දැක්වූවාය.

ඉදිරිපත්වූ කරුණු සලකා බලා කොමිසමේ සාමාජිකයන් පස්දෙනාගේ බහුතරයේ එකඟතාවෙත් තීරණය කරනු ලැබුවේ සංවේදී තොරතුරු හෙළිදරව් කෙරෙන අවස්ථාවලදී පමණක් මාධ්‍යවේදීන් කොමිසම් සභා ශාලාවෙන් ඉවත් කිරීමටය.

නිලන්ත ජයවර්ධන මහතා කොමිසම හමුවේ සාක්ෂි දීම ඊයේ ආරම්භ කළ අතර ඉදිරි දින කීපයේදීද ඔහුගෙන් සාක්ෂි ලබාගැනීමට නියමිතය. බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ විශේෂ ශාලාවකදී මෙම කොමිසම ඊයේ ද රැස්විය.

- මුදිතා දයානන්ද -