නවගමුව රණාල කැන්දහේනවත්ත ප්‍රදේශයේ රථවාහන අංගනයක වාහනයක පෑස්සුමක් සිදු කරමින් සිටියදී එක්වරම කාබයිට් ටැංකියක් පිපිරී යාමෙන් ඒ අසල පෑස්සුම් කරමින් සිටි පෑස්සුම් ශීල්පියෙකු ඊයේ (27) දහවල් එම ස්ථානයේදී මිය ගොස් ඇතැයි නවගමුව පොලිසිය පවසයි. 



අනතුර සිදුවූ ස්ථානයේ රථ වාහන අංගනය හිමියාගේ දැනුම්දීම මත මොහු සිය උපකරණ රැගෙන එම ස්ථානයට පැමිණ වාහන අලුත්වැඩියා කටයුතු සිදුකරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇතැයි සිදු කළ මූලික පරීක්ෂණයේදී අනාවරණය වූ බවද පොලීසිය පවසයි.

එලෙස පිපිරීමට ලක් වූ කාබයිට් ටැංකිය
මිය ගිය පුද්ගලයාටම අයත් වු ටැංකියක් බවත් එය ඉතා පැරණි තත්වයේ පැවතීම නිසාවෙන් මෙලෙස පිපිරීම් වලක්වන්නට ඇති බවට සැක පළ කරන බවද පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ රණාල වලව්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ඒ.පී.වීරසිංහ නමැති 47 හැවිරිදි දරු පියකු වන රථවාහන කාර්මික ශිල්පියෙකි.  අනතුර සිදුවූ ස්ථානයට පැමිණි කඩුවෙල හදිසි මරණ පරික්ෂක ඩබ්.ඒ.කේ.නිමල් මහතා විසින් මූලික පරීක්ෂන කටයුතු සිදුකර දේහය මුල්ලේරියාව රෝහල වෙත රැගෙන ගොස් පශ්චාත් මරණ පරික්ෂණය පවත්වන ලෙස නියෝග කරන ලදී.

නවගමුව පොලීසියේ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක වීරවර්ධන මහතා ප්‍රමුඛ නිලධාරිහු පරීක්ෂණ පැවැත්වුහ.

(මොරගහහේන-කේ. බුද්ධික කුමාරසිරි)