සෞදි අරාබියේදී මියගිය ශ්‍රී ලාංකිකයෙකුගේ දේහය ශ්‍රී ලංකාවට රැගෙන ඒමෙන් අනතුරුව ආදාහනය කිරීමට බොරැල්ල පොදු සුසාන භූමියට ඊයේ (08) රැගෙන ආ අවස්ථාවේ ඔහුගේ පවුලේ ඥාතීන් සහ සෞඛ්‍ය අංශ අතර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.



දේහය අවසන් වරට දැක ගැනීමට අවශ්‍ය බව පවුලේ ඥාතීන් පැවසුවත් සෞඛ්‍ය අංශ ඊට අවසර දී නොදීමෙන් මෙම තත්ත්වය හටගෙන ඇත.

44 හැවිරිදි පී. ගන්ගාදරන් යන මොහු සෞදි අරාබියේදී හෘදය සහ ශ්වසනය අකර්මණයවීමෙන් අය ජීවිතක්ෂයට පත්ව ඇති අතර, එරට රජය විසින් නිකුත් කළ මරණ පරීක්ෂණ වාර්තාවේ ද ඒ බව සදහන්ව ඇත.

මොහුගේ දේහය පිළිබද අවසන් කටයුතු නිරෝධායනය නීතිය අනුව සිදුකිරීමට සෞඛ්‍ය අංශ පියවර ගැනීමත් සමග ඥාතීන් ඊට විරෝධය පල කර තිබේ.

එම අවස්ථාවේ සුසාන භූමියට පැමිණි පොලිස් නිලධාරීන් විසින් කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව ආදාහනය කර ඇති අතර, ආදාහනය කිරීම සදහා ස්විචය ක්‍රියාත්මක කිරීමේ අවස්ථාව මියගිය තැනැත්තාගේ දරුවාට ලබාදෙන ලෙස ඥාතීන් විසින් ඉල්ලීම් කළේය.

ඒ අනුව එම අවස්ථාව සෞඛ්‍ය අංශ විසින් අදාළ දරුවාට ලබාදී තිබේ.