සුව පහසු කඳුකර ගෘහවලින් ද, පිසින රසමසවුලෙන් ද, ඉහළින් එන හෙලිකොප්ටර පාත් කරන්නට සෑදූ පැතලි බිම්කඩින් ද සමන්විත බණ්ඩාරවෙල පිහිටි ඇනසා වෙල්නස් නිවාඩු නිකේතනය සුඛ විහරණයට කියාපු තැනකි.
සැම දෙනාගේ සිත්ගන්නා කඳුකරය තුරුල්ලේ ඇති මෙකී ස්ථානය,
ඉන්දියාවේ මුම්බායි නගරයේ කොරෝනා වෛරසය පහව ගිය බව තීරණය වනතුරු ඩාවුඩී බෝරාවරුන්ගේ ප්‍රධානියා වූ ශුද්ධෝත්තම සියෙඩ්නා මුෆාඩිඩාල් සයිෆුඩින්ගේ තාවකාලික නිවහන වනු ඇත. ඔහු පදිංචි නිත්‍ය නිවාසය වන්නේ, මුම්බායි නගරයේ මිලාධික නිවාස සහිත ප්‍රදේශයක් වූ මලබාර් කඳුකරයේ පිහිටි සෙයිෆී මහල් නම් මන්දිරයයි.

ඉන්දියාව සිසාරා හමා යන වෛරසයෙන් බේරෙන්නට මෙම බෝරා ප්‍රධානියා තම සහපිරිවර සමඟ කුලියට ගත් ගුවන්යානයකින් මෙහි එන්නට බලාපොරොත්තු වෙයි. ඔහුගේ නිත්‍ය නිවහන වූ සෙයිෆී මහල් නම් මන්දිරය මේ වන විට ඒ තුළ කෝවිඩ්-19 රෝගීන් සොයාගන්නට ලැබුණු නිසා සීල් තබා ඇත.

කෙසේ වුවද ආචාර්ය සියෙඩ්නා සහ ඔහුගේ පවුලේ ළඟම ඥාතීන් මේ වන විට ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රදේශයේ බටහිර ඝාට්ස් කඳුකරයේ ඛණ්ඩාලා හි කඳවුරැ බැඳගෙන සිටිති. එම ප්‍රාන්තයේ ලොක්ඩවුන් ආරම්භ වූ දා පටන් ඔවුන් සිටියේ එම ප්‍රදේශයේය. ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණෙන්නට නියමිතව තිබුණේ ජූනි 21දාය. එහෙත් කලින් තීරණය කරගත් ආකාරයට නොව ඔවුන් යම් රහස්‍ය ආකාරයකින් පැමිණෙන්නට හිටිහැටියේම තීන්දු වී තිබේ. විදේශ සම්බන්ධතා පිළිබඳ ජනාධිපති සහකාර ලේකම් අද්මිරාල් (විශ්‍රාමික) මහාචාර්ය ජයන්ත කොළඹගේ, ඔවුන් පැමිණෙන දිනය හා වේලාව අවිනිශ්චිත බව මේ සතියේ දී ප්‍රකාශ කළේය. ඔවුන් අවම වශයෙන් ජූනි 21දා වන විට පැමිණෙතැයි බලාපොරොත්තු වන බව ඔහු කලින් මාධ්‍ය වෙත පවසා තිබිණි.

ඔහු සහ ඔහු සමඟ පැමිණීමට නියමිත සහපිරිවර පැමිණි විට ඔවුන් රාජ්‍ය නායක මට්ටමින් පිළිගන්නා බව මේ සතියේදී අද්මිරාල් කොළඹගේ කියා සිටියේය. එහිදී දැඩි ලෙස සෞඛ්‍යමය ක්‍රියාමාර්ග අනුගමනය කරන බවද හෙතෙම කියා සිටියේය.
බෝරා ප්‍රජාව සාමාන්‍යයෙන් භාවිත කරන ලද්දේ බණ්ඩාරවෙල පිහිටි ඇනසා වෙල්නස් නිකේතනය බව දේශීය බලධාරීහු තහවුරු කළහ. මින් පෙර පැමිණි අවස්ථාවේ එතුමාණන් මෙම ස්ථානයට පැමිණියේ හෙලිකොප්ටරයකිනි. යාබද කුඹුරු කරා ගලා හැරෙන දිය දහරා ගලා යන්නේ මෙම පරිශ්‍රය මැදිනි. නිවාඩු නිකේතනයේ පරිශ්‍රය අඩි 20 ක් තරම් උස තාප්පයකින් වට වී තිබේ.

මෙම ඉදිකිරීම් අයත් වන්නේ මෙරට සුප්‍රසිද්ධ බෝරා ව්‍යාපාරිකයකුටය. එහි මේ ආකාරයේ මුදුන් පියසි සහිත කඳුකර නිවාස 40 ක් ඉදිකිරීමට සැලසුම් කර තිබේ. මේ වන විට එවැනි ගිරිගෘහ 19 ක් සාදා නිමකර ඇත. ඉදිරියේදී මෙහි පැමිණීමට නියමිත අය සම්බන්ධයෙන් යමක් තහවුරු කොට ප්‍රකාශ කිරීමට එම ප්‍රජාවේ ප්‍රකාශකයෙක් ප්‍රතික්ෂේප කළේය.

ඩාවුඩි බෝරා ප්‍රජාවේ සාමාජිකයන්ට අයත් වතුයාය දෙකක් බණ්ඩාරවෙල පිහිටියේය. එම වතුයාය දෙක පිහිටා ඇත්තේ එකිනෙකට කිලෝමීටර 5 ක් නුදුරිනි. ඇනසා වෙල්නස් ඉදිකොට ඇත්තේ අක්කර 25ක ඉඩමකයි. එය බෝරා පුහුණු ආයතනයක් ලෙස ද පවත්වාගෙන යයි. අනෙක් භූමිය වල්ලාපට්ට වගාව සහිත අක්කර පහක කොටසකි.

පැමිණීමට නියමිත අමුත්තන් සැමදෙනා මුම්බායි හිදී PCR පරීක්ෂණයකට පෙනී සිටිය යුතු බව මහාචාර්ය කොළඹගේ කීවේය. ඔවුන් හට කෝවිඩ්-19 වැළඳී නොමැති බව පැහැදිලි වුවහොත් පමණක් ඔවුන්ට ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර ඇති බව එයින් හැඟවේ. නිරෝධායන මධ්‍යස්ථානයේ පරීක්ෂාවෙන් අනතුරුව මෙම සමූහය කෙළින්ම බණ්ඩාරවෙලට රැගෙන යනු ඇත. එහි අනිවාර්ය දින 14 ක් ඔවුන් හුදෙකලාව සිටිය යුතුය. මේ පිරිසේ පුද්ගලයන් 40 – 45 ක් පමණ පැමිණෙතැයි බලාපොරොත්තු වේ.

මොවුන්ගේ පැමිණීම පිළිබඳ තොරතුරු වසන්කොට තිබෙන නිසා මෙරට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට අනුගමනය කළ යුතු පූර්වාරක්ෂාව සලසා ගැනීමේ පියවර පිළිබඳව නිල වශයෙන් මේ දක්වා උපදෙස් ලැබී නැති බව ඔවුහු කියති. මේ දක්වා ඇල්ල ප්‍රදේශයේ හෝටල් බොහෝමකට නැවත කටයුතු අරඹන්නට අවසර දී නොමැති බවද ඔවුහු කීහ.

ජූනි 21 සිට නිවාස වෙන්කර ගැනීමට ඇනසා වෙල්නස් නිකේතනය වෙතින් කළ ඉල්ලීමකදී, අනෙක් අන්තයෙන් පිළිතුrq දුන් පුද්ගලයා කියා සිටියේ, මේ දක්වා හෝටලයේ කටයුතු අරඹා නොමැති බවත්, නුදුරු කාලයේදී ප්‍රභූ පිරිසකගෙන් සමන්විත අමුත්තන් පිරිසක් පැමිණීමට නියමිත බවත්ය.

(The Sunday Times හි පළවූ ලිපියක් ඇසුරිනි.)
- සමන් පුෂ්ප ලියනගේ