ළමයි ටික වෙරළේ ඇවිදගෙන යනවිට ලොකු රැල්ලක් ඇවිත් අපි හැමෝම වැහුණා. ළමයි දෙන්නාම ඒ රළ සමග මුහුඳට ඇදී ගියා යැයි මග්ගොන උස්වැල්ල මුහුදු වෙරළේ ගමන් කරමින් සිටියදී මුහුදු රළට බිලීවු දැරියන් දෙදෙනාගේ මරණ පරික්ෂණයේදී සාක්කි දෙමින් බලපිටියේ පදිංචිකරුවකු වූ මොහොමඩ් රිස්වාන් යන අය කීය.

මෙම අනතුරින් බේරුවල කෝපිවත්තේ පදිංචිව සිටි මොහොමඩ් නිරවුස් පාතිමා නිස්පා (අවු.15) හා මොහොමඩ් නිරවුස් ෆතිමා නිස්කා (අවු.12) යන එකම පවුලේ සොයුරියන් දෙදෙනා මියගිය අතර ඔවුගේ නැගණියවූ මොහොමඩ් නිරවුස් ෆාතිමා නිල්ලා (අවු.08) ඒ අසල සිටි පිරිසක් විසින් බේරාගෙන තිබුණි.



බේරුවල හදිසි මරණ පරීක්ෂණ ඊ.එම්.පී බණ්ඩාර මහතා ඉදිරියේ ඊයේ (14) දහවල් කළුතර නාගොඩ මහ රෝහලේ පැවැති එම හදිසි මරණ පරණයේදී තවදුරටත් සාක්කි දුන් සාක්කිකරු මෙසේද කීය.

අපි 12 වැනිදා බේරුවල පැවැති මගුල් ගෙදරකට ආවා, ඊට පසු 13 වැනිදා අපේ සැවොම මග්ගොන ඥාති ගෙදරකට ගියා. සවස 2.30ට විතර අපේ පවුල්වල ගැහැනු ළමයින් දහතුනක් විතර මුහුදු වෙරළට ආවා. සමහරු නාත්තත් බලාගෙන හිටියා. ඒ අසල සිටි අය මුහුද සැර නිසා නාන්න එපා මුහුදට බහින්න එපා කියලා කිව්වා.

මම කෝටුවක් අරන් ළමයින්ට සැරකර මුහුදට බහින්න එහෙම එපා කියමින් ඔවුන් පසු පස ගියා, ළමයි ටික ඉස්සර කරගෙන මම වෙරළ දිගේ ඇවිදගෙන ගියා. එක පාරටම ලොකු රැල්ලක් ඇවිත් අපව වැහුණා. මාත් තව ළමයි කීප දෙනෙකුත් බිම වැටුණා. මගේ ළමයි තුන්දෙනෙක් එතැන සිටියා. එතැන සිටි පිරිස දුවවිත් අපව එසවූවා ඒ එක්කම මගේ මස්සිනාගේ දුවලා දෙන්නාව මුහුදට ගසාගෙන ගියා. එතැන සිටි අය මස්සිනාගේ බාල දුව බේරලා දුන්නා. මම මුහුදට පනින්න හැදූවිට ඒ අය මාව වැළක්වූවා ඊළග රළ සමග ගොඩට ආවිට අල්ලා ගනිමු කිවා, ඒත් ඒ දැරියන් නොපෙනී ගියා

මෙහිදී අබ්දුල් වඩුම් මොහොමඩ් නිරවුස් (අවු. 43) යන අය සාක්ෂි දෙමින් මෙසේ කීය.

 අපට දියණියන් තිදෙනෙකු සිටිනවා මියගොස් ඇත්තේ ඉන් වැඩිමහල් දෙදෙනායි. බාල දියණිය ඒ අතරින් බේරාගෙන බේරුවල රෝහලට ඇතුලත් කර සිටිනවා. බලපිටිය සිට 12 වැනිදා අපේ මස්සිනාලා ආවා. ඒ මගුල් ගෙදරකට සහභාගීවීමට. ඊට පසුදා 13 වැනිදා දවල් අපි මගේ මල්ලිගෙ මග්ගොන ගෙදරට ගියා.

දවල් ආහාරයෙන් පසු අපේ පවුල්වල ළමයින් දහදෙනකු පමණ මස්සිනා සමග මුහුදු වෙරළට ගියා. එහිදී මොවුන්ව මුහුදට ගසාගෙන ගොස් තිබෙනවා. නාවික හමුදාවෙන් පැමිණ හේවා හමුවුනේ නැහැ. ඊයේ (14) උදේ දියණියන්ගේ සිරුරු මග්ගොන වෙරළට ගොඩගසා තිබුණි.

මෙහිදී ඉදිරිපත්වූ සාක්ෂි සහ කළුතර මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ප්‍රියන්ත අමරරත්න මහතා විසින් ඉදිරිපත් කළ පශ්චාත් මරණ පරික්ෂණ වාර්තා සලකා බැලූ මරණ පරීක්ෂකවරයා එම මරණ මුහුදේ ගිලීමෙන් සිදුවූ ඒවා බවට නිගමනය කළේය. පයාගල පොලිසියේ සැරයන් (553I8) සිල්වා මහතා සාක්ෂි මෙහෙයවීය.

(කළුතර සුනිල් එස්.තන්ත්‍රිආරච්චි)