[Trending][btop]
[News][stack]

ලංකාවේ කොරෝනා මර්දනය සාර්ථක කරගත් හැටි ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පතට වෛද්‍ය අනිල් ජාසිංහ කියූ අයුරු

න්දියාවට දකුණින් පිහිටි පුංචි දිවයින තුළ කොරෝනා ආසාදිතයන් සහ මරණ අඩු සංඛ්‍යාවක් වාර්තා වීම පිළිබඳව ඉන්දියානු පුවත්පතක් කළ විමසීමකදී ඒ පිළිබඳව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ විසින් යම් අදහස් පළ කර තිබේ.
ශ්‍රී ලංකාවේ මිලියන 21ක ජනගහනය අතරින්
මේ වන විට වාර්තා වී තිබෙන Covid-19 ආසාදිතයන් සංඛ්‍යාව 2033ක්ය. මරණ 11ක් සහ සුවය ලැබූ රෝගීන් 1639ක් වාර්තා වේ. දැනට 383දෙනෙක් රෝහල් තුළ ප්‍රතිකාර ලබයි. එක් අයෙක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.
ජූනි 28වෙනිදා ශ්‍රී ලංකාව පුරා පනවා තිබූ ඇඳිරි නීතිය සම්පූර්ණයෙන්ම ඉවත් කරනු ලැබීය. ඊට පෙර ඇඳිරි නීතිය ලිහිල් කිරීමේ විවිධ අදියර ක්‍රියාත්මක වූ අතර අවශ්‍ය වූ අවස්ථාවලදී නැවත පනවනු ලැබීය.

නව කොරොනා වෛරසය පාලනය වී ඇති බව පෙන්නුම් කිරීම නිසා අගෝස්තු 1වෙනිදා සිට ගුවන් තොටුපොළ සංචාරකයන් සඳහා යළි විවෘත කිරීමට සලකා බලන බව සඳහන්ය. අවදානම පහව ගොස් නැතත් ශ්‍රී ලංකාව තුළ දැනට වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාවෙන් වැඩි ප්‍රමාණයක් විදෙස් රටවල සිට නැවත පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ය. The Indian Express පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වූ වෛද්‍ය අනිල් ජාසිංහ පවසා තිබෙන්නේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් පිහිටුවා තිබෙන ප්‍රමිති දිගටම පවතිනු ඇති බවය.
"සියයට සියයක ආරක්ෂාවකට ළඟා වීමට අපට නොහැකිය. නමුත් එම මට්ටමට ළඟා වීමට දරන උත්සාහයක් ලෙස අප විවිධ ක්‍රම යොදාගන්නවා. එමනිසා ආසාදිත පුද්ගලයෙක් සමාජයට ගියොත් එම පුද්ගලයා සමඟ සබඳතා පැවැත්වූ පුද්ගලයන්ව හඳුනාගෙන තත්ත්වය පාලනය කරගැනීමට අපට හැකිය" කියා අනිල් ජාසිංහ පවසයි. නමුත් මෙය ශ්‍රී ලංකාව ලබා තිබෙන ජයග්‍රහණයක් නොවන බව ඔහු අවධාරණය කළ අතර මේ වන තෙක් කිසිවෙකු කොරෝනා වෛරසයට එරෙහි සටන ජය ගෙන නොමැති බව සඳහන් කළේය.
අගෝස්තු මාසේ මුල සිට ගුවන් තොටුපොළ විවෘත කළද සංචාරකයන් පැමිණීම ආරම්භ වන්නේ අගෝස්තු අග සිට බව සඳහන්ය. එමෙන්ම එසේ විවෘත කළද සංචාරකයන් විශාල සංඛ්‍යාවක් පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු නොවන බවද සඳහන්ය. වසංගතයට පෙර සෑම දිනකම ගුවන් යානා 100ක්ද මගීන් 6000-10000 අතර ප්‍රමාණයක්ද පැමිණ ඇත. දැනට බලාපොරොත්තු වන්නේ ගුවන් තොටුපොළ විවෘත කළ විට ඉතා කුඩා ප්‍රමාණයක් පැමිණෙනු ඇති බවය.
දි ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත සමඟ සාකච්ඡවකට හවුල් වූ වෛද්‍ය අනිල් ජාසිංහ පවසා තිබෙන්නේ මෙසේය. "සංචාරක කර්මාන්තයට සම්බන්ධ පුද්ගලයන් සමඟ මම කතා කළා. අපි සංචාරකයන්ව ගෙන්වාගන්නා ආකාරය, ශ්‍රී ලංකාව තුළ සංචාරය කිරීමට ඉඩ සලසා දෙන ආකාරය සහ ඔවුන් රටින් පිටවීම පිළි බඳව ලේඛන සකස් කර තිබෙනවා."

රටට පැමිණෙන පුද්ගලයන්ව RT-PCR පරීක්ෂණයට ලක් කරනු ලබයි. ගමන ආරම්භයට පෙර එම පරීක්ෂාව සිදු කරගෙන තිබුණද ඇතුල් වීමට පෙර එය නැවත සිදු කළ යුතුය. ඇතුල් වූ පසුව පස්වෙනි දිනයේදී සහ හයවෙනි දිනයේදී නැවත RT-PCR පරීක්ෂාවට ලක් කරයි. තනි සංචාරකයන්ට පැමිණීමට අවසර නොමැති බව සඳහන් වේ. සංචාරකයන් 8 දෙනෙක්ගෙන් හෝ ඊට වැඩි පිරිසකගෙන් සමන්විත කණ්ඩායම් සඳහා අවසර ලැබේ. පවුලේ සමාජිකයන් අඩු ප්‍රමාණයකින් යුත් පවුල් සඳහාද අවසර ලැබේ. ඒ ඔවුන් තම රටෙහි සංචාරක නියෝජිතයෙකු හරහා කලින්ම වෙන් කර ඇත්නම් සහ චාරිකාව සඳහා නියම කරගත් මුදලක් කලින්ම ගෙවා ඇත්නම්ය.  සංචාරක කාල සීමාව වනුයේ දින 6 සිට 7 දක්වාය.

"ඔවුන් රැඳී සිටින කාලය පුරාවට සෞඛ්‍ය බලධාරීන් ඔවුන්ගේ තොරතුරු තබා ගනියි. ඔවුන් ශ්‍රී ලංකාව තුළ ගත කරන 5වෙනි සහ 7 වෙනි දින අතර ඔවුන් සඳහා PCR පරීක්ෂණ සිදු කරනු ලබයි. පරීක්ෂණයේ වාර්තාව ලබාගැනීමෙන් තොරව ඔවුන්ට නැවත රටින් පිට විය නොහැකියි. සංචාරකයක් දිනකට හෝ දෙකකට ශ්‍රී ලංකාවට පැමිණ මෙහි වෛසරය දමා අතුරුදහන් වී යෑම අපගේ අපේක්ෂාව නොවේ.”

ආසාදිතයන් සංඛ්‍යාව අඩු මට්ටමක පවත්වාගැනීමට ශ්‍රී ලංකාවට හැකි වූයේ කලින්ම සූදානම් වීම හේතුවෙන් බව ජාසිංහ පැවසීය. ශ්‍රී ලංකාවේ එකම ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී උෂ්ණත්වය මැන බැලීම ආරම්භ වී තිබෙන්නේ ජනවාරි මස මැදදීය. පළමු පී සී ආර් රසායනාගාරය ආරම්භ වූයේ ජනවාරි 26වන දින අතර ඊට පසුවදා චීන කාන්තාවක් ශ්‍රී ලංකාව තුළ ප්‍රථම ආසාදිතයා ලෙස වාර්තා විය. එම කාන්තාවව හුදෙකලා කර රෝහල්ගත කරනු ලැබීය. ඇය හරහා වෙනත් කිසිම පුද්ගලයෙකුට වෛරසය සම්ප්‍රේශණය වී නොතිබුණි. වෛරසය ආසාදිත ප්‍රථම ශ්‍රී ලාංකිකයා වූයේ ඉතාලි කණ්ඩායමක් සමඟ සංචාරක මඟ පෙන්වන්නෙක් ලෙස කටයුතු කළ තැනැත්තෙක්ය. මාර්තු 29වෙනිදා ශ්‍රී ලංකාව තුළ ප්‍රථම කොරෝනා මරණය වාර්තා විය.

ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් හරහා වෛසරය පැමිණීම හේතුවෙන් ආසාදිතයන් ඉහළ යෑමේදී මැයි 20වන දින සිට ඇඳිරි නීතිය යටතේ රට අගුළු දමනු ලැබීය. එම තහංචි දින 52කින් පසුව, එනම් මැයි 11 දින ලිහිල් කරනු ලැබීය. ඒ වන විට ශ්‍රී ලංකාව තුළ වාර්තා වී තිබූ ආසාදිතයන් සංඛ්‍යාව 850ක්ය.
නාවික හමුදා කඳවුරක් ආශ්‍රිතව කොරෝනා පොකුරක්ද දක්නට ලැබූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස අප්‍රියෙල් 23 දක්වා පුද්ගලයන් 4000ක් පමණ නිරෝධායනයට යොමු කරනු ලැබීය. මෙම නාවික පොකුර 910කට වැඩි පිරිසක් දක්වා වර්ධනය විය. මෙම පිරිස සහ විදේශ රටවලට ගොස් සිට නැවත පැමිණි ආසාදිත ශ්‍රී ලාංකිකයන් හේතුවෙන් මෙරට ආසාදිත සංඛ්‍යාව ඉහළ යන ලදි.
පුත්තලම, කොළඹ, කලුතර සහ ගම්පහ යන ප්‍රදේශ අවදානම් කලාප බවට පත් විය.
“අපි මුලින්ම කළේ රෝගීන්ව හඳුනාගැනීමයි. එමෙන්ම ඉතා පරෙස්සමින් ඔහු ඇසුරු කළ පුද්ගලයන් පිළිබඳව සොයා බැලීමයි. අනවශ්‍ය ලෙස වෛරසය පැතිරීමට අප ඉඩ තැබුවේ නැහැ” කියා ජාසිංහ පැවසීය. ඇතැම් ආසාදිතයන් පිළිබඳ තොරතුරු සොයා බැලීමේදී එක් ආසාදිතයෙකු ඇසුරු කළ පුද්ගලයන් 60-70ක් පමණ සොයාගත හැකි විය. වැඩිපුරම සබඳතා වාර්තා වූයේ නාගරික ජනාකීර්ණ ප්‍රදේශවල වන අතර ගම්බද ප්‍රදේශවල සබඳතා සංඛ්‍යාව ඊට වඩා අඩු විය. ශ්‍රී ලංකාව තුළ ජීවත් වන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ජනගහනය සහ විශාල ඩයස්පෝරාව හේතුවෙන් එහි වෛරසය ව්‍යාප්ත වීමේ අවදානමක් තිබෙන බවට ශ්‍රී ලංකාව අවධානයෙන් පසු වන බව එම පුවත්පතේ සඳහන් විය. “පොකුරු හරහා රෝගය සමාජය පැතිර යෑමට ඉඩ දීමට අපට අවශ්‍ය වූයේ නැහැ. රෝගය පොකුරු තුළම පවත්වාගැනීමට අපට හැකි විය. සෑම රෝගියෙකු පිළිබඳවම සහ ඔවුන්ගේ සබඳතා සියල්ල පිළිබඳව දැනගත හැකි තත්ත්වයක් උදා කරගැනීමට අපට අවශ්‍ය විය. මේ වන තෙක් එසේ සිදු කිරීමට අපට හැකි විය. කිසිම අවස්ථාවක සමාජයේ පැතිර යෑමක් දක්නට ලැබුණේ නැහැ. අපි ඊට ඉඩ තැබුවේ නැහැ. තදබල ලෙස ආසාදිතයන් ඇසුරු කළ පුද්ගලයන්ව සොයාබැලීම, නිරෝධායනය සඳහා තදබල මෙහෙවරක් තබා ගැනීම අපට උපකාරවත් විය” ජාසිංහ පැවසීය.

ශ්‍රී ලංකාව තුළ රජය විසින් පවත්වාගෙන ගිය නිරෝධායන මධ්‍යස්ථාන 50ක් තිබුණි. දින 14ක් සඳහා ගාස්තු ගෙවීමට හැකි පුද්ගලයන් වෙනුවෙන් තරු පහේ හෝටල් කිහිපයක් ඇතුළු හෝටල් 10ක් නිරෝධායන මධ්‍යස්ථාන බවට පත් කරන ලදි. විශාල ජනගහනයක් ජීවත් වන නාගරික ප්‍රදේශවල යම් ප්‍රදේශයක්ම නිරෝධායන මධ්‍යස්ථාන බවට පත් කළ බව ජාසිංහ සඳහන් කරයි. ජාසිංහගේ කණ්ඩායම විසින් දැඩි සත්කාර ඒකක ඇඳන් 100ක් සූදානම් කළ බවද මේ වන විට ඉන් ප්‍රයෝජනයට ගෙන තිබෙන්නේ 10ක් පමණක් බවද ඔහු කියා සිටියේය. මේ වන විට ශ්‍රී ලංකාව තුළ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන්නේ එක් පුද්ගලයෙකු පමණක් බව දත්ත පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාව තුළ පවතින සෞඛ්‍ය පද්ධතියද ඉමහත් දායකත්වයක් ලබා දී තිබෙන බව ජාසිංහ පැවසීය. 2016දී මැලේරියාව තුරන් කිරීමට මෙයින් අවස්ථාව උදා වූ බව හෙතෙම පවසයි. මූලික සෞඛ්‍ය මධ්‍යස්ථාන, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ‍රෝහල්වලින් සමන්විතව ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය පද්ධතිය පිරමීඩ හැඩයක් ගනී.
‘ශ්‍රී ලංකාව තුළ සෞඛ්‍ය ක්ෂේත්‍රය නොසලකා හැර නැත. සෞඛ්‍ය පරීක්ෂකවරු, මහජන සෞඛ්‍ය සේවිකාවන් මෙහි සෞඛ්‍ය ක්ෂේත්‍රයෙහි සිටිනවා. හොඳ රෝහල් පද්ධතියක් තිබෙනවා. සෑම කිලෝමීටර 1.5කටම රජයේ සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයක් තිබෙනවා’ ජාසිංහ පැවසීය. එමෙන්ම රෝහල් තුළ කො‍රෝනා ආසාදිතයන්ට ලබා දුන් එකම ඖෂධය Hydroxycholoroquine බව ඔහු සඳහන් කළේය.

මේ වන විට ශ්‍රී ලංකාව තුළ පී.සී.ආර් පරීක්ෂණ 1,04,272ක් සිදු කර තිබෙන බව දත්ත පෙන්වා දෙන අතර ජූනි 3වෙනිදා දිනකට සිදු කළ වැඩිම පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව වන 2,089 වාර්තා විය. මීට වඩා පර්යේෂණ සිදු කිරීමේ හැකියාව පවතින බවද දිනකට පරීක්ෂණ 500ක් සිදු කළ හැකි නව ස්ථානයක් විවෘත කර තිබෙන බවද ඔහු පැවසීය. ගුවන්තොටුපොළ විවෘත කිරීමේදී වැඩි වැඩියෙන් පරීක්ෂණ සිදු කළ යුතු වන නිසා පෞද්ගලික රසායනාගාරද මේ සඳහා යොදාගන්නා බව ජාසිංහ පවසයි.
පරීක්ෂණ ලබාගත හැක්කේ ජනගහනයෙන් 0.5කට පමණක් බව විවේචන එල්ල වී තිබුණද පරීක්ෂණ සිදු කිරීමේදී ඉලක්ක කරන්නේ වැඩි අවධානමක් සහිත කණ්ඩායම් බව ජාසිංහ පැවසීය.
“සමාජයීය මට්ටමේ පැතිර යෑමක් ඇති වුවොත් විශාල පරීක්ෂණ සංඛ්‍යාවක් සිදු කළ යුතුයි. මුම්බායිවල තත්ත්වය ඒකයි. ශ්‍රී ලංකාව තුළ අප පරීක්ෂණ සිදු කළේ ඉලක්කගත කණ්ඩායම් සඳහාය. ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා අප රෝහල් තෝරාගත් අතර කොරෝනා ප්‍රතිකාර සඳහා වෙන් කළ හුදෙකලා ඒකක සෑම රෝහලක් තුළම පිහිටවීය. උණ සහ ශ්‍වසන පද්ධතිය ආශ්‍රිත රෝග ලක්ෂණ පෙන්නුම් කරන රෝගීන් එම ඒකකවලට යොමු කරනු ලැබීය. ඔවුන් සඳහා පී.සී.ආර් පරීක්ෂණ සිදු කරන ලදි. ඉන්පසුව අපි OPDවල අහඹු පරීක්ෂණ සිදු කළෙමු.

ඉන්පසුව මත්ස්‍ය වෙළඳපොළවල, ත්‍රීරෝද රථ රියැදුරන් අතර වැනි සමාජය හා ගැටෙන පුද්ගලයන් අතර අහඹු පර්යේෂණ සිදු ‍කළෙමු” කියා ඔහු පැවසීය. මෙම ඉහළ අවදානම් පුද්ගලයන් තුළ ආසාදිතයන් වාර්තා වීම දක්නට ලැබුණේ සියයට 2ක් පමණය. එමනිසා අපට සමාජයීය වශයෙන් පැතිර යෑමක් නැති හෙයින් නගරයට ගොස් සෑම පුද්ගලයෙකුගෙන්ම සාම්පල ලබාගැනීමේ අවශ්‍යතාවයක් නැති බව ඔහු පවසයි.
චීන ජාතිකයන් හවුල් වන ව්‍යාපෘති දෙකක් වන කොළඹ වරාය නගරය සහ හම්බන්තොට වරායට චීන ජාතික පුද්ගලයන් බොහෝ දෙනෙකු පැමිණේ. ශ්‍රී ලංකාව තුළ පළමු ආසාදිතයා වූ චීන ජාතික කාන්තාව හැරුණුකොට චීනයේ සිට වෛරසය රැගෙන ආ වෙනත් පුද්ගලයන් පිළිබඳව වාර්තා නොවේ. ශ්‍රී ලාංකීය ශිෂ්‍යයන් විශාල ප්‍රමාණයක් කලින්ම ලංකාවට පැමිණි අතර ඔවුන්ව බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කරන ලදි. මාර්තු තුන්වෙනි සතියට පෙර චීන සංචාරකයන්ගේ වීසා අහෝසි කර තිබේ.

“ඒ වන විටත් ශ්‍රී ලංකාව තුළ සිටි චීන ජාතිකයන්ගේ අවදානමක් තිබුණේ නැහැ. චීනයේ සිට පැමිණි පුද්ගලයන්ගෙන් අවදානමක් තිබුණා. නමුත් අපට එතරම් ගැටලුවක් වුණේ නැහැ. චීන බලධාරීන් අපේ නීති රීතිවලට සහ‍යෝගය දැක්වුවා. ශ්‍රී ලංකාව තුළ ව්‍යාපෘතිවල නිරත වන චීන ජාතිකයන්ට වැඩ බිම්වලින් ඉවතට යෑමට ඔවුන් ඉඩ තැබුවේ නැහැ” ජාසිංහ පැවසීය.
(The Indian Express ඇසුරිනි)
එස්. දහනායක
[July02,2020 - Gossiplankanews.com]