අනූ හැවිරිදි තම මවට ලැබෙන වැඩිහිටි දීමනාව හා සමෘද්ධි දීමනාව තමන්ට දෙන මෙන් ඉල්ලමින් ඇයට කරදර කරන බව කියන ඇයගේ දියණියකට, පුතකුට හා ලේල්ලියට එරෙහිව උහන පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත.
පොලීසියට මේ පිළිබඳව පැමිණිලි කර ඇත්තේ එම මවගේ බාල පුතාගේ බිරිඳය..
වයෝවෘද්ධ මව දැනට රැක බලාගන්නේ මෙම බාල පුතා හා ලේලිය බව ද පොලීසිය කියයි.

පැමිණිල්ල ඉදිරිපත් කළ කාන්තාව, වයෝවෘද්ධ මව හා  චෝදනාවට ලක්වූ තිදෙනාද පෙරේදා (05) උහන පොලීසියට කැඳවා, පැමිණිල්ල විභාග කිරීමට උහන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එල්.ඩි.එන්. කරුණාරත්න  මහතා පියවර ගෙන තිබිණි.  වයෝවෘද්ධ 68 හැවිරිදි දියණිය 64 හැවිරිදි වැඩිමහලු පුතා හා 61 හැවිරිදි ලේලියක් ද මෙසේ  පොලීසියට කැඳවනු ලැබ සිටියහ.
මෙම මවට දරුවන් 9 දෙනෙකි. ඇයගේ සැමියා කලකට පෙර මිය ගොසිනි. දරුවන් 9 දෙනාගෙන් දෙදෙනකු දැනට ජීවතුන් අතර නැත.
මවට වැඩිහිටි දිමනාව වශයෙන් 1900 ක්ද, සමෘද්ධි දීමනාව වශයෙන් රුපියල් 1,000 ක් පමණද මාසිකව ලැබෙන බවත් ඇය රැකබලා ගන්නා බාල පුතා හා ලේල්ලිය එම මුදල් මවට අවශ්‍ය දෑ මිලදී ගැනීමට වැයකරන බවත් පැමිණිලි විභාගයේදී හෙළිවූ බව පොලිසිය කියයි.
“අනේ පුතේ, මගේ මේ දරුවෝ කුඩුවේ දාන්න එපා. මම වයස වුණාට මුන්ට මගේ ආදරේ අඩුවක් නැහැ. ඒත් මට මේ හම්බවෙන මුදල මේ ගොල්ලට දෙන්න මට බැහැ. මට වෙන ආදායමක් නැහැ. මගේ බාල පුතයි මල්ලියි මේ සල්ලි ටිකෙන් මට අවශය දේවල් ගෙනත්දෙනවා” මව පොලිස් ස්ථානාධිපතිවරයාට පැවසූ බව ද කියති.
"මේ අම්මා දරුවන් 9 දෙනකු ලොකු මහත් කරලා තියෙන බොහොම අමාරුවෙන්. වයසක අම්මට දැන් සල්ලි ඉල්ලලා කරදර කරන්න එපා. අම්මගෙ වටිනාකම තේරුම් අරගෙන ඔය අයට පුළුවන් විදියට අම්මට සලකන්න" යැයි පොලිස් ස්ථානාධිපතිවරයා දරුවන්ට අවවාද කර ඇති අතර මවට කරදර නොකරන බවට දරු තිදෙනා පොරොන්දු වූ බව ද පොලීසිය පවසයි.

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)