ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් වාසය කරන වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් නුවර කොරෝනා දෙවන රැල්ලක් මතුවීම හේතුවෙන් අද සිට සති හයක කාලයක් සඳහා අගුළු දැමිමට ඒරට රජය තීරණය කර තිබේ.
පසුගිය පැය 24 තුළ ප්‍රාන්තයේ නව රෝගීන් 191 ක් වාර්තා වී ඇති අතර එය පෙර දින 134 ට වඩා ඉහළ අගයක් ගනී..
නව ආසාදිත හමුවීම්  බොහොමයක්
මෙල්බර්න් හි හෝටල්වල ජාත්‍යන්තර සංචාරකයින් නිරෝධායනය කිරීම සඳහා කුලියට ගත් ආරක්ෂක භටයින් සමඟ සම්බන්ධ වී ඇති අතර ප්‍රමාණවත් සෞඛ්‍ය පුහුණුවක් සහිත කාර්ය මණ්ඩලයක් බඳවා ගැනීමට රජය අපොහොසත් වී ඇති බවට විවේචන එල්ල වී ඇත.
 වික්ටෝරියා ප්‍රාන්තය සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය අතර සීමාවද අද මධ්‍යම රාත්‍රියේ සිට වසා දැමෙනු ඇත.
මෙම කාලය තුළදී මෙල්බර්න් වැසියන් සිය නිවෙස්වල රැඳී සිටිය යුතු අතර අධ්‍යාපන, රැකියා, වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම, ආහාර සහ ඖෂධ ලබාගැනීම යනාදියට පමණක් නිවෙස්වලින් පිටතට පැමිණීමට හැකිය.

ආපනශාලා, අවන්හල්, බිමහල් විවෘතව තැබුණද එම ස්ථානවල සිට ආහාර පාන ලබාගත නොහැකි අතරම කායවර්ධන මධ්‍යස්ථාන සහ සැලූන් වසා දැමෙනු ඇත. නිවෙස්වල එක්රැස්වීම් පුද්ගලයන් දෙදෙනකුට සීමා කර ඇති අතර පාසල් නිවාඩුව ද දීර්ඝ කර ඇත.
වික්ටෝරියා ප්‍රාන්තය මින් ඉහත මාර්තු මාසයේදී ඕස්ට්‍රේලියාවේ අනෙකුත් ප්‍රදේශවලට වඩා සීමාවන් පැනවූ අතර සෞඛ්‍ය අර්බුදය හොඳින් කළමනාකරණය කළ නිසා කීර්තියක් දිනාගෙන සිටියේය.