පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළව මැතිවරණ නීති උල්ලංඝනය කිරීම හා මැතිවරණ පැමිණිලිවලට අදාළව අපේක්ෂකයන් හය දෙනකු ඇතුළු 317 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මැතිවරණ බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා පැවසීය.
මැතිවරණ පැමිණිලි හා මැතිවරණ නීති උල්ලංඝනය කිරිමේ පැමිණිලි 289ක් වෙනුවෙන් මෙම පිරිස අත්අඩංගුවට ගත් බව නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය.

 පසුගිය ජනාධිපතිවරණයට සාපේක්ෂව මෙවර ප්‍රචණ්ඩ ක්‍රියා පැමිණිලි ප්‍රමාණය වැඩි වුවද 2015 වසරේ මහ මැතිවරණට සාපේක්ෂව ඒවා සියයට තිස්පහක පමණක් අඩුවක් දක්නට ලැබෙන බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය. ප්‍රචණ්ඩ ක්‍රියා අඩුවීමට හේතුව මැතිවරණය ප්‍රකාශයට පත් කළ දිනයේ සිටම ප්‍රචාරක කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීම බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

ජනාධිපතිවරයාගේ, මැතිවරණ කොමිසමේ, ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් අනුව පොලිසියට කිසිදු බලපෑමක් නොමැතිව කටයුතු කිරීමට හැකි වූ බවද හෙතෙම කියා සිටියේය.

වාර්තා වූ පැමිණිලි අතර වැඩිම පැමිණිලි ඇත්තේ පොදුජන එක්සත් පෙරමුණට විරුද්ධව බවත් එවැනි පැමිණිලි 91 ක් වාර්තා වී ඇති බවත්, එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව පැමිණිලි 22ද, සමගි ජන බලවේගය පක්ෂයට එරෙහිව 44 ක්ද,
වෙනත් පක්ෂවලට එරෙහිව පැමිණිලි 45 ක්ද වශයෙන් මෙම පැමිණිලි ලැබී ඇති බවද පොලිසිය වැඩිදුරටත් පවසයි.

(ඉන්දිකා රාමනායක)