අංගොඩ අයි. ඩී.එච්. රෝහලේ  දැඩි සත්කාර ඒකකයේ කෘත්‍රිම ශ්වසන යන්ත්‍රයක ආධාරයෙන් ප්‍රතිකාර ලබමින් සිටි 62 හැවිරිදි කොරෝනා රෝගී කාන්තාවක් ඊයේ (2) සාමාන්‍ය වාට්ටුවකට මාරු කළ බව
එම රෝහලේ වෛද්‍යවරු පවසති.  කුවේට් සිට පැමිණ මඩකළපුව නිරෝධායන  මධ්‍යස්ථානයේ නිරෝධ්‍යයනය වෙමින් සිටි එම කාන්තාව කොරෝනා ආසාදිත බවට තහවුරු වීමෙන් පසුව මැයි මස 23 වැනිදින අයි.ඩී.එච්. රෝහලට එවා තිබිණ. ඉතා බරපතළ රෝගී තත්වයකින් පසු වූ එම කාන්තාව මැයි මස 26 වැනිදින දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති අතර ඇය දින 35ක්ම එහි ප්‍රතිකාර ලබමින් සිටියාය.

හුස්ම ගැනීමේ දැඩි අපහසුතාවකින් පෙලීම නිසා රෝහල් කාර්ය මණ්ඩලය ඇයට කෘත්‍රිම යන්ත්‍රයක ආධාරයෙන් හුස්ම ගැනීමට සලස්වා තිබිණ. විටින්විට ඇයගේ රෝගී තත්ත්වය උත්සන්නවීම නිසා අයි.ඩී.එච්. රෝහලේ වෛද්‍යවරුන් හා කාර්ය මණ්ඩලය අවස්ථා කීපයකදීම කලබලයට පත්වූහ. කෙසේ වෙතත් එම කාන්තාව ඊයේ වනවිට සුවය ලබා සිටි අතර මේ වනවිට සාමාන්‍ය වාට්ටුවක ප්‍රතිකාර ලබමින් සිටින්නීය. ඉමහත් වෙහෙසක් දරා සහ බලාපොරොත්තු සහගතව ප්‍රතිකාර ලබා දෙමින් මෙම කාන්තාවගේ ජීවිතය බේරා ගැනීමට හැකිවීම පිළිබඳව අයි.ඩී.එච්. රෝහලේ සමස්ත කාරිය මණ්ඩලයම දැඩි සතුටට පත්ව සිටිති.

යන්ත්‍රයක ආධාරයෙන් කෘත්‍රිම ශ්වසනය ලබාදුන් රෝගීන් 5 දෙනකු අයිඩී.එච්. රෝහලේ සිටි නමුත් ජීවිතය බේරාගැනීමට හැකිවූයේ මැයට පමණකැයිද රෝහල් කාර්ය මණ්ඩලය සඳහන් කළේය. මෙම මෙම 62 හැවිරිදි කාන්තාව සුවපත්වීමේ සතුට බෙදා ගැනීමට අයි.ඩී.එච්. රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක, එම
රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, විශේෂ ශ්‍රේණියේ හෙඳ නිලධාරිනී ගීතානි උඩුගම කෝරාල යන මහත්ම මහත්මීහු ඇය සමග සමූහ ඡායාරූපයකට පෙනී සිටියහ.

-රංජන් කස්තුරි-