එක් වරක් කොරෝනා වෛසරය ආසාදනය වූ පසුව ඊට එරෙහිව ශරීරය තුළ වර්ධනය වන ප්‍රතිශක්තිකරණය මාස තුනක් වැනි කෙටි කාලයක් ඇතුළත නැවත නැති වී යා හැකි බව අලුත්ම ‍අධ්‍යයනයකින් පෙන්වා දී තිබේ.
කිංස් කොලේජ්හි පර්යේෂණයකට අනුව Covid-19 ආසාදිත බොහෝ පුද්ගලයන් තුළ රෝග ලක්ෂණ ඇති වී දින 10-15 ඇතුළත ඊට එරෙහි ප්‍රතිදේහමය ප්‍රතිචාරයක් දැකගත හැකි බව සඳහන්ය.
නමුත් එම ප්‍රතිදේහ වැඩි කල් නොපවතින බවද සඳහන් වන අතර මේ පිළිබඳව තවදුරටත් සලකා බැලිය යුතුව පවතියි. ගාඩියන් පුවත්පත පෙන්වා දෙන්නේ මෙම වෛරසය සඳහා එන්නතක් සොයාගන්නා තෙක්ම ඕනෑම දිනක මිනිසුන් මෙම වෛරසයට ගොදුරු වීමේ අවදානම පහව නොයන බවය.
එමෙන්ම “කොතරම් කාලයක් ආසාදනය වූ පුද්ගලයා තුළ ප්‍රතිදේහ පවතිනවාද හෝ එම ප්‍රදේහ මගින් නැවත වෛරසය අසාදනය නොවීම සඳහා ආරක්ෂාව සලසනවාද යන්න නිශ්චිතවම නොදන්නා” බව එම පරීක්ෂණ වාර්තාවේ සඳහන් වී තිබුණි. මෙම පරීක්ෂණය සඳහා කොරෝනා වෛරසය වැළඳී ඇතැයි හඳුනාගත් පුද්ගලයන් 65 දෙනෙකුගේ සාම්පල දින 94කට පසුව රැගෙන තිබේ.
ආසාදිතයන්ගේ සහ ගයි හා ශාන්ත තෝමස්හි NHS පදනම් භාරයෙහි සෞඛ්‍ය සේවකයන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ප්‍රතිචාර පිළිබඳව පර්යේෂකයන් විශ්ලේෂණය කර තිබේ. ඔවුන්ගෙන් රෝගයට නිරාවරණය වූ පුද්ගලයන් සියයට 60ක් තුළම ප්‍රබල ප්‍රතික්‍රියාවක් සිදු වී තිබේ.
“පුද්ගලයන් මෙම වෛරසය සඳහා සාධාරණ මට්ටමින් ප්‍රතිදේහ ප්‍රතිචාරයක් දක්වනවා” මෙම අධ්‍යනයෙහි ලේඛිකා වෛද්‍ය කැටී ඩෝරස් පැවසීය.
නමුත් මෙම ප්‍රතිදේශ කොතරම් කාලයක් සිරුර තුළ රැඳී පවතිනවාද යන්න වෙනස් වන බව ඇය තවදුරටත් පවසයි. මින් ගම්‍ය වන්නේ එන්නතක් අවශ්‍ය බවත් එක් වරක් එන්නත් කිරීම ප්‍රමාණවත් නොවිය හැකි බවත් කියා ඇය පවසයි.
“ආසාදනය මගින් ප්‍රතිදේහ ප්‍රතිචාරය සඳහා වටපිටාව සකස් කරනවා. නමුත් ඔබ තුළ ඇති වන ආසාදනය මගින් ඔබ තුළ ඇති කරන්නේ මාස දෙක තුනකින් නැතිව යන ප්‍රතිදේහ මට්ටමක් නම් එන්නතකිනුත් එයම සිදු වීමට ඉඩ තිබේ” ඇය තවදුරටත් සඳහන් කළාය.
ලොව පුරා වෛරසය ව්‍යාප්ත වී‍ම හේතුවෙන් බොහෝ පුද්ගලයන්ට එය ආසාදනය වූ පසුව නැවත ආසාදනය නොවීමට අවශ්‍ය ප්‍රතිශක්තිකරණය වර්ධනය වී මෙම රෝගය තුරන් වේයැයි බොහෝදෙනා තුළ පවතින මතයට ඉහත සොයාගැනීම විශාල පහරක් එල්ල කරන බව සඳහන්ය. එකී මතයට අනුව පුද්ගලයෙකුට වෛරසය ආසාදනය වූ පසුව හෝ ඊට එන්නතක් ලබාගත් පසුව ඔහු නැවත වෛරසය වැළඳීමෙන් ආරක්ෂා විය යුතුය. මෙකී ක්‍රමයෙන් වෛරසය තුරන් වීමට නම් වෛරසයට මුහුණ දීමට අවශ්‍ය ප්‍රතිශක්තිකරණය අඩුම තරමින් ජනගහනයෙන් සියයට 70ක් තුළ වර්ධනය විය යුතුය. නමුත් කෝවිඩ්-19 පිළිබඳව සලකා බලන කල පුද්ගලයෙකු තුළ වෛරසයට එරෙහිව ඇති වන ප්‍රතිශක්තිකරණය කොතරම් කාලයක් පුරාවට පවතීද යන්න ගැටලුසහගතය. එමෙන්ම වෛරසය ඉතා පහසුවෙන්ම පැතිර යෑමද මෙහිදී විශාල බලපෑමක් ඇති කරයි. ජනගහනයෙන් භාගයක් තුළවත් වෛරසයට එරෙහි ප්‍රතිශක්තිකරණය වර්ධනය වුවහොත් ආසාදිතයෙකුගෙන් තවත් ආසාදිතයෙකුට වෛරසය සම්ප්‍රේෂණය වීමේ අඩුවක් සිදු වන බව ජෝජියා ඇට්ලන්ටාහි එමෝරි විශ්වවිද්‍යාලයේ එන්නත් පිළිබඳ විශේෂඥයෙකු වන වෛද්‍ය වෝල්ටර් ඔරෙන්ස්ටීන් සඳහන් කරයි.
මීට වඩා වැඩි ජනගහනයක් වෛරසය සඳහා අවශ්‍ය ප්‍රතිශක්තිකරණය වර්ධනය කරගත්තොත් එහි ව්‍යාප්තිය තවත් අඩු වනු ඇති බව ඔහුගේ මතයය.
නමුත් යම් වෛරසයක ඉහළ ආසාදනය වීමේ හැකියාවක් තිබෙන විට එහි ව්‍යාප්තිය නතර කිරීමට සහ එය තුරන් කිරීමට ඉහත සඳහන් කළාටත් වඩා පුද්ගල ප්‍රතිශතයක් තුළ ඊට එරෙහි ප්‍රතිශක්තිකරණය වර්ධනය විය යුතු බව ඔරෙන්ස්ටීන් පැවසීය.
ප්‍රතිදේහ පිළිබඳ සිදු කර තිබෙන නවීන පර්යේෂණවල ප්‍රතිඵලද පදනම් කරගනිමින් නව එන්නතක් නිපදවීමේ වෑයමක් චීනය, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය තුළ දැකගත හැකිය.
(එක්සත් රාජධානියේ “ද සන්” ඇසුරිනි)
එස්. දහනායක