පක්ෂග්‍රාහී වැඩකළ පොලිස් ස්ථානාධිපතිවරුන් දෙදෙනකු එම තනතුරුවලින් ඉවත් කළ බව මැතිවරණ කටයුතු බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවැසීය.
දෙදෙනා තනතුරුවලින් ඉවත් කරනු ලැබුවේ පොලිස් කොමිසමේ අනුමැතිය අනුව යැයි ද ඔහු කීය. මෙසේ තනතුරුවලින් ඉවත් කරනු ලැබ ඇත්තේ පොලොන්නරුව මූලස්ථාන ප්‍රධාන
පොලිස් පරික්ෂකවරයා හා ජාඇල පොලිස් ස්ථානාධිපතිවරයායි.  පොලොන්නරුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා  පානදුර පොලිස් කොට්ඨාසයටත් ජාඇල පොලිස් ස්ථානාධිපතිවරයා පොලිස් මූලස්ථානයටත් මෙසේ මාරු කරනු ලැබ සිටිති.

මෙයට අමතරව, මැතිවරණ රාජකාරි කටයුතුවලදී පක්ෂග්‍රාහී කටයුතු කරන්නේ යැයි චෝදනා එල්ලවී ඇති පොලිස් නිලධාරින් තවත් 12 දෙනකුට විරුද්ධව විමර්ශන අරඹා තිබෙන බව ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය. මේ චෝදනා එල්ලවී ඇත්තේ කල්මුණේ, සමන්තුරේ පුත්තලම හා කුරුණෑගල ඇතුළු ප්‍රදේශ කිහිපයක පොලිස් නිලධාරින් දොළොස් දෙනකුටයි.

ක‍්‍රියාකාරිව මැතිවරණ කටයුතුවලට සහභාගිවීමේ චෝදනාව  යටතේ අත්අඩංගුවට ගනු ලැබූ පොලිස් නිලධාරියකු වැඩ තහනමට ලක්කර ඇතැයිද ප්‍රියන්ත වීරසූරිය මහතා කීය. මේ අතර මැතිවරණ නීතිය කඩ කරන පොලිස් නිලධාරින්ට විරුද්ධව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන්නැයි - වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අදාළ වීමර්ෂන අංශවලට උපදෙස් දී ඇත.

මැතිවරණ නීති කඩ කිරීමේ චෝදනා යටතේ 317 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මැතිවරණ අංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අශෝක ධර්මසේන මහතා පැවැසීය.

(සුජිත් හේවාජුලිගේ සහ ඉන්දිකා රාමනායක)