2011 ක්‍රිකට් ලෝක කුසලානය සම්බන්ධයෙන් මතු වූ තරග පාවාදීමේ චෝදනා සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකය (SIU) විසින් දියත් කරන ලද විමර්ශනය අවසන් වී ඇති අතර
නිගමනයකට එළැඹ තිබේ.
මේ දක්වා කැඳවා ඇති ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකුගේ ප්‍රකාශ අව්‍යාජ බවත්, තරගාවලිය අතරතුර සංචිතය වෙනස් වීමට ප්‍රායෝගික හේතුව හෙළි කර ඇති බවත්,  මේ දක්වා ලබාගත් කටඋත්තර තුනෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඉදිරිපත් කළ කරුණු 14 සනාථ කරන්න හැකියාවක් නොමැති බව පෙනී ගොස් ඇති අතර අයි.සී.සී.යට ලිපියොමු කළා කිව්වත් අයි.සී.සී. ප්‍රතිචාර දක්වා නැති අතර අයි.සී.සී. පරීක්‍ෂණයක් කර නැති බවත් ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ ප්‍රධානි ජ්‍යෙෂ්ඨ පොලිස් ආධිකාරී ජගත්  ෆොන්සේකා මහතා පැවසීය.
මේ සිද්ධිය සම්බන්ධයෙන් තව දුරටත් විමර්ශනය නොකර පැමිණිල්ල කළ ක්‍රීඩා ආමාත්‍යංශයේ ලේකම් වෙත වාර්තාවක් යවන්න කටයුතු කරන බව ෆොන්සේකා මහතා සඳහන් කර සිටියි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගය ස්ථිර කර ඇති බව හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දනන්ද අළුත්ගමගේ මහතා ජුනි මාසයේදී හෙළි කිරීමෙන් පසුව ක්‍රීඩා අමාත්‍යාංශය මෙම චෝදනාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළේය.

මහේල ජයවර්ධන, කුමාර සංගක්කාර, අරවින්ද ද සිල්වා සහ උපුල් තරංග ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් මේ සම්බන්ධයෙන් විමර්ශනය කර කැඳවා තිබුණි.