කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නිලධාරියෙකු කහවත්ත, ඇන්දානේ පිහිටි තම බිරියගේ නිවෙසට පැමිණ දින කිහිපයක් ගත කිරීම නිසා ප්‍රදේශයේ නිවෙස් හතරක සාමාජිකයන් සහ වෙළෙඳසල් දෙකක හිමිකරුවන් 20 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කිරීමට කහවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි
කාර්යාලය පියවර ගෙන තිබේ.
ජූලි 12 වන දා කහවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක නිමල්ෙ විජේසිංහ මහතා ඇතුළු මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් එම ප්‍රදේශයට ගොස් නිවෙස් හතර සහ වෙළෙඳසල් දෙක විෂබීජහරණයට ලක් කළහ.
කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන කඳවුරේ සිට මුලින් පැල්මඬුල්ල, නාරංගොඩ ප්‍රදේශයේ තම නිවෙස‍ෙපැමිණි අදාළ නිලධාරියා පසුව බිරියගේ කහවත්ත, ඇන්දාන, ජම්බුගස්ගුලන නිවෙස වෙත ගොස් දින කිහිපයක ගත කර තිබේ.
ඔහු නාරංගොඩ නිවසේ ද දින කිහිපයක් ගත කිරීම නිසා එම නිවෙසේ පදිංචි ඔහුගේ බිරිය සහ දරු
දෙදෙනා ද නිරෝධායනයට ලක්කරනු ලැබුවේ, ඉකුත් 10දාය.
කහවත්ත, ඇන්දාන, ජම්බුගස්ගුලන ප්‍රදේශයේදී මෙම පුද්ගලයා සමීපව ඇසුරු කළ පවුල් හතරක් පදිංචි නිවාස ද එම ආශ්‍රිතයන් ආ ගිය ගබ්බෙල මාර්ගයේ වෙළෙඳසල් දෙකක සාමාජිකයන් 18 දෙනෙකු ද ස්වයං නිරෝධානයට යොමු කර තිබේ.
කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ මෙම නිලධාරියා පීසීආර් පරීක්ෂණයට යොමු කර ඇති බවත් මෙතෙක් ඔහුට කොවිඩ් - 19 වෛරසය ආසාදිත බවට තහවුරු වී නැති බවත් නමුත් මහජන සෞඛ්‍ය ආරක්ෂාව උදෙසා මෙම නිරෝධායන කටයුතු කළ බවත් කහවත්ත පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක නිමල් විජේසිරි මහතා පැවැසීය.
ප්‍රදේශයේ ජනතාව අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නැති බවත් මහජනතාව සෞඛ්‍ය පුරුදු නිසි ලෙස අනුගමනය කළ යුතු බවත් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා තවදුරටත් පැවසීය.

කහවත්ත - එල්. නිරෝෂණ