''එන්.එස්.බී.එම්.හරිත සරසවියේ'' දත්ත පද්ධතියට අන්තර්ජාලය ඔස්සේ අනවසරයෙන් ඇතුළු වී එම
ආයතනයේ බැංකු ගිණුමෙන් රුපියල් කෝටි 10ක  මුදලක් වෙනත් ගිණුමකට බැර කිරීමට තැත්කළ විදෙස් ජාතිකයෝ දෙදෙනෙක්
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ චෝදනාවලට ඊයේ (9) වරද පිළිගත්හ.

 මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මෙරටට ව්‍යාපාරවල නියුතු කොරියන් ජාතික ඕබ් යොන්ගේ සහ ඕස්ට්‍රේලියානු ජාතික චියෝ බයෝන්ග් කිල් නමැති මෙරට ව්‍යාපාරයන්හි නියුතු ව්‍යාපාරිකයින් දෙදෙනාට මහේස්ත්‍රාත්වරිය ඉංග්‍රීසි භාෂාවෙන්
චෝදනා කියවා දුන් අතර, එම ඉන් පසුව ඔවුහු දෙදෙනා වරද පිළිගත්හ.

ඒ අනුව වරද පිළිගත් විදෙස් ජාතිකයන් දෙදෙනාට දඬුවම් නියම කිරීම ලබන 23 වැනිදා තෙක් කල් තැබූ අධිකරණය සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් ද නිකුත් කරමින් එක් අයකුට රුපියල් ලක්ෂි 25 බැගින් වූ ශරීර ඇප නියම කළේය. එසේම, සැකකරුවන්ගේ ඇඟිලි සලකුණු සටහන් කර ගැනීමට ද මහේස්ත්‍රාත්වරිය අධිකරණ පොලිස් සැරයන්වරයාට නියම කළාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය  විමර්ශන අංශය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලද්දේ හෝමාගම පිටිපන හරිත සරසවියේ මූල්‍ය ප්‍රධානී තිරණාගමගේ රන්දි කෛයාෂි මහත්මිය විසින් ඉකුත් ජනවාරි මස 24 වැනිදාය.

එන්.එස්.බී.එම් හරිත සරසවිය නමින් පවත්වාගෙන යන ආයතනයේ පරිගණක දත්ත පද්ධතියට අනවසරයෙන් ඇතුළු වී රුපියල් කෝටි 10ක මුදලක් පළමු චුදිත සභාපතීත්වය දරන 'මිරායින් එනර්ජි ලංකා පුද්ගලික සමාගම' නමින් හැටන් නැෂනල් බැංකුවේ කොල්ලුපිටිය ශාඛාවේ ගිණුමකට වංචනිකව බැරකිරිමට කටයුතු කිරීමෙන් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 386 සමග කියැවෙන 496 වගන්තිය ප්‍රකාරව දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකර ඇතැයි මෙහි පළමු චූදිතට එරෙහිව අපරාධ පරික්ෂණයක් දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළ චෝදනා පත්‍රයේ සදහන් වෙයි.

එහි දෙවැනි චුදිතට ඉදිරිපත් කර ඇත්තේ එම වරද සිදුකිරීමට අනුබල දීම සහ වරද සිදුකිරීමට අනුබල දීමටත් කුමන්ත්‍රණය කරමින් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 32 සහ 102 සමග කියැවෙන 113 (අ) 1 යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකර ඇතැයි චෝදනාවය. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශයේ උප පොලිස් පරික්ෂක විමල් ජයවීර මහතා සැකකරුවන් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

(නිමන්ති රණසිංහ)