මාවරල කැටපලකන්ද ප්‍රදේශයේදී තේ  දළු කැඩීමට ගොස් නයකු දෂ්ඨ කිරීම නිසා මිය ගිය තිදරු මවට කඹුරුපිටිය ආඳපාන රජයේ රෝහලේ දී ප්‍රතිවිෂ එන්නත් කිරීම ප්‍රමාද වී සිදු කර ඇති බවත් එම නිසා එම රෝහලේ ‍වෛද්‍යකාර්ය මණ්ඩලයේ නොසැලකිල්ලෙන් මරණය සිදු වී ඇති බවත් ඒ පිළිඳව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ මාතර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ සුමිත්. අඹේපිටිය මහතා ප්‍රකාශකර ඇත.



නිසි වේලාවට ප්‍රමාදයකින් තොරව ප්‍රතිවිෂ එන්නත් ලබා දුන්නේ නම්  එම කාන්තාවගේ ජීවීතය බේරා ගැනීමට හැකියාව තිබූ බව ද ඒ මහතා පශ්චාත් මරණ පරීක්ෂණයේදී ප්‍රකාශ කළේය. ඒ අනුව ඉකුත් 20 වැනිදා කඹුරුපිටිය ආඳපාන රජයේ රෝහලේ දී මිය ගොස් තිබුණේ මාවරල, කැටපලකන්ද, නුගේගාව , ගෙපල නිවසේ පදිංචිව සිටි පත්මාරාජපක්ෂ (52) නමැති කාන්තාවකි.

ඇයගේ හදීසි මරණ පරීක්ෂණය  කඹුරුපිටිය හදීසි මරණ පරීක්ෂක  ජගත් පාඩිප්පෙරුම මහතා ඉදිරියේ දී පැවැත්විණි.

 හදිසි මරණ පරීක්ෂකවරයාගේ නියෝගය මත පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වීම සඳහා සිරුර මාතර මහ රෝහල් මෘත ශරිරාගාරය වෙත රැගෙන ආවේය.  විෂකුරු සර්පයෙකු දෂ්ඨකිරිම නිසා දකුණු කකුලේ මස් පිඩු නරක් වී විෂබීජ ආසාධනයවී එම විෂබීජ ශරීරය පුරා . පැතිරීමෙන් ඇති,කම්පනයෙන් මෙම මරණය සිදු වී ඇති බවද පශ්චාත් මරණ  පරිණය පවත්වමින් අධිකරණ වෛද්‍ය විශේෂඥ සුමිත් අඹේපිටිය මහතා ප්‍රකාශ කළේය.

තවද “අදාළ කාන්තාව රෝහල් ගත කර ඇත්තේ ඉකුත් 15වැනි දින සවස 5.15ට බවද නයෙකු දෂ්ඨකර ඇති බවට දින පැහැදිලිව හඳුනා ගෙන තිබියදී ඇයට ප්‍රතිවිෂ එන්නත් කර ඇත්තේ ඊට පසු දින (16) හා 18 යන දිනවලදී බවද එම නිසා වෛද්‍ය කාර්ය මණ්ඩලයේ නොසැලකිල්ලෙන් මරණය සිදු වී ඇති බවට වැඩි දුරටත් සඳහන් කරමි". ලෙස ඒ මහතා පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාවේ විශේෂ සටහනක් ද යොදා තිබේ. ඒ අනුව හදීසි මරණ පරීක්ෂණයේ දී ඉදිරිපත් වූ සාක්කි හා පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සැලකිල්ලට ගත් කඹුරුපිටිය හදිසි මරණ පරික්ෂක ජගත් පාඩිපෙරුම මහතා නයෙකු දෂ්ඨකිරීම නිසා දකුණු කකුලේ මස්පිඩු නරක් වී විෂබීජ ආසාධනය වී එම විෂබීජ ශරීරය පුරා පැතිරීමෙන් ඇතිවූ කම්පනයෙන් එම මරණය සිදු වී ඇති බව නිගමනය කළේය.

තවද විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ අනෙකුත් නිර්දේශ පිළිබඳව එම ඥාතීන් දැනුවත් කිරීමට ද කටයුතු කළේය. හදිසි මරණ පරීක්ෂණයේදී සාක්ෂි දුන් මිය ගිය කාත්තාවගේ  සැමියා වන ජයවර්ධනගේ ප්‍රේමසිරි 157 මහතා මෙසේ කීය.

“අපි විවාහ වෙලා වසර 33ක් වෙනවා. දරුවන් තිදෙනෙකු සිටිනවා. බිරිඳ ඉකුත් 15වැනි දින සවස 3.00ට පමණ ගෙදර ඉඩමේ තේ දළු කැඩීමට ගියා. පසුව පුතා ඇවිත් කීවා. “අම්මාව නයෙක් කාලා" කියලා. එතැනට ඉක්මණින් ගිහින් බලද්දී බිරිඳ වේදනාවෙන් කෑ ගසමින් සිටියා. නයා ද ඇදී යනවා දැක්කා. කකුල සෝදා ඉක්මණින් ඇය රෝහල් ගත කළා. එහිදී පැරසිටමෝල් පෙති දෙකක් විතරක් බොන්න දුන්නා. ඊට පසු දින කකුල කාපු තැන කළු වී තිබුණා. එවිට බෙහෙතක් විද්දා. 18වැනිදා බිරිදට අමාරු වුණා. ඒ නිසා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළා. 20 වැනිදා ඇය මිය ගියා. ආඳපාන රෝහලේ වෛද්‍යකාර්ය මණ්ඩලය ඉක්මණින් බෙහෙත විද්ද නම් බිරිඳ ජීවත් කර ගන්න තිබුණා. තවත් කෙනෙකුට මෙවැනි දෙයක් නොවෙන්න අවශ්‍ය පියවර ගන්නා මෙන් ඉල්ලා සිටිනවා."

මේ පිළිබඳව කඹුරුපිටිය ආඳපාන රජයේ රෝහල් වෛද්‍ය අධිකාරී රංජිත් ධර්මකීර්ති මහතාගෙන් විමසූ විට මෙසේ කීය.  “සර්පයෙකු දෂ්ඨකළා කියා රෝහල් ගත වූ විගසම ප්‍රතිවිෂ එන්නත් කරන්න කියලා සිරිතක් නැහැ. ඊට අදාළ ලක්ෂණ පෙන්නුම් කල පසුවයි එය සිදු කරන්නේ. විශේෂඥයන්ද් වෛද්‍යවරයා තෙවරක්ම ඇය පරික්ෂා කර තිබෙනවා. කෙසේ වෙතත් අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වා අවසන් වන තෙක් මේ ගැන ප්‍රකාශයක් සිදු කරන්න බැහැ. මෙම සිදුවීම පිළිබඳව පරීක්ණයක් පවත්වන්න බලාපොරොත්තුවෙනවා."
කඹුරුපිටිය පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

(ක්‍රිෂාන්ජීවක ජයරුක්)