ලංකාවේ යුධ අපරාධ සිදුවූ බවට මුලින්ම ප්‍රකාශ කලේ හිටපු හමුදාපතිවරයෙක් වන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා බවත් කරුණා අම්මාන් එසේ යුධ අපරාධ සිදු නොවූ බවට පවසමින් රට වෙනුවෙන් සාක්ෂි දීමට ඉදිරිපත් වූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියි.



මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේය.

“අපි යුධ විශේෂඥයින් නෙමේ. රටක යුද්ධයක් තිබියදී සතුරු හමුදා විනාශ කරන්න අපේ රටේ යුධ ප්‍රධානින් කරුණා අම්මාන්ගේ සහය ලබා ගත්තා. ඒ සතුරන්ගේ කඳවුරු තුලින්ම ඔවුන්ව විනාශ කිරිමට අවශ්‍ය පසුබිම සකසා ගන්න. යුද්ධය අවසන් වුවාට පසුව ලංකාවේ යුධ අපරාද සිදුවුණා කියලා දරුස්මාන් සිය වාර්තාව එළිදැක්වුවා. නමුත් එම වාර්තාව එන්න කලින් ලංකාවේ යුධ අපරාධ සිදුවුණා කියලා මුලින්ම කිව්වේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකායි.

දරුස්මාන් වාර්තාව එද්දී හමුදාව යුධ අපරාධ සිදුකලේ නෑ කියලා කිව්වේ කරුණා අම්මාන්. ඒ වගේම කිව්වා තමන් ඒ වෙනුවෙන් සාක්ෂි ලබා දෙන්න සුදානම් කියලා. අද ඔහු කොටි සංවිධානයේ ඉද්දි සිදුකරපු දෙයක් ගැන කතාබහක් ඇතිවෙලා තියෙනවා. අපි ඒ ගැන නීතියට භාර කරමු. ඔවුන් ඒ ගැන පරීක්ෂණ සිදුකරාවී, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ කියා සිටියේය.