කටුනායක ගුවන් තොටුපොළේදී පී.සී.ආර්. පරීක්ෂණය ප්‍රතික්ෂේප කරමින් රටට ඇතුළු වූ ඇමෙරිකානු තානාපති කාර්යාල සේවකයාට කොවිඩි -19 වෛරසය ශරීරගත කොට ඔහු මෙරටට එව්වේ දැයි යන්න
සම්බන්ධයෙන් සැකයක් මතුවන බවත්, ඒ අනුව ශ්‍රී ලංකාව තුළ කළමනාකරණය කර ඇති අදාළ වෛරසය නැවත බෝ කිරීමේ හැකියාවක් එම සේවකයාට ඇති බවත් හිටපු රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.

 මේ සම්බන්ධයෙන් සිය අදහස් පළ කරමින් මාධ්‍ය හමුවකදී හෙතෙම අවධාරණය කර සිටියේ අදාළ තානාපති කාර්යාල සේවකයා ශ්‍රී ලංකාවට අනතුරක් වන බවට හා එසේම ඔහු සම්බන්ධ පරික්ෂණයක් පැවැත්විය යුතු බවට ඇමෙරිකානු තානාපති කාර්යාලයට බල කර කිව යුතු වන බවයි.

එහිදී වැඩිදුරටත් සිය අදහස් දැක්වූ හිටපු රාජ්‍ය අමාත්‍යවරයා,
"ලංකාව බැදී ඉන්නවා විදේශ තානාපති කාර්යාලවල රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයන්, රාජ්‍ය තාන්ත්‍රික පුද්ගලයන් තමන්ගේ රටට එනකොට ඒ අයට ආවරණය ලබා දෙන්න. ඒ ආවරණයට අපි කියනවා මුක්තිය කියලා. මුක්තිය තියෙනවා ඒ අයට විරුද්ධව නඩු නොපැවරීමට. අපරාධ නඩුවක් හැර. නමුත් ශීලාචාර රටවල් මුක්තිය පාවිච්චි කරන්නේ නෑ. ශීලාචාර රටවල් වැනි මුක්තියක් ඉල්ලන්නේ නෑ. අපෙන් වරදක් වෙලා තියෙනවා නම් ඒ වරදට උත්තර කියන්න අපි ඉදිරිපත් වෙනවා කියලා ඒ අය ඉදිරිපත් වෙනවා. නමුත් එහෙම ශීලාචාරකමක් නෑ. කොරෝනා වසංගතය ලොව පුරා පැතිර යද්දී එය වැළැක් වීමට ගන්නා වූ පියවරක් වූ මේ පරීක්ෂණය ප්‍රතික්ෂේප් කිරීම ලෝක සෞඛ්‍ය පද්ධතියට, ලෝකයේ සෞඛ්‍ය ප්‍රතිපත්තියට කළ අභියෝගයක්.

ඔහු වෛද්‍යවරයෙක් නොවෙයි. ඔහු එවැනි පරීක්ෂණයක් කර ආ බවක් කිව්වෙත් නෑ. මම හිතන්නේ මේ ගැන අපි රාජ්‍ය තාන්ත්‍රික විරෝධයක් ඉදිරිපත් කළ යුතුයි.

ඔහු පරීක්ෂණයක් පවත්වා නැත්නම් අපි ඇමෙරිකානු තානාපති කාර්යාලයට බල කර කිව යුතුයි. මොහු දැන් ලංකාවට අනතුරක් ලංකාවේ කටයුතුවලට සම්බන්ධ වීම, ඇවිදින්න යෑම අනතුරක්. මොහු සම්බන්ධ පරීක්ෂණයක් කළ යුතුයි. සෑම රටකම සෞඛ්‍ය ප්‍රතිපත්ති අනුගමනය කළ යුතුයි. එතැනදී රාජ්‍ය තාන්ත්‍රිකයන්ට තිබෙන මුක්තිය අත්හැරිලා නෑ” යැයි පවසා සිටියේය.

 මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා සහ මාධ්‍යවේදීන් අතර වූ සංවාදය පහතින් දැක් වේ.  මාධ්‍ය- මේ පුද්ගලයා සමහරවිට ඉදිරියේදී අගමැතිතුමා,ජනාධිපතිතුමා මුණ ගැහෙන්නත් ඉඩ තියෙනවා?

වාසුදේව නානායක්කාර මහතා එයාට වෛරසය බෝ කරලා ලංකාවට එව්වාද දන්නේ නෑ. පරීක්ණයට යටත් නොවී ඇතුළට ගිහිල්ලා ඊටපස්සේ  ලංකාවේ අපි කළමනාකරණය කරලා තියෙන මේ වසංගත රෝගය නැවත බෝ කරන්න ඔහුට පුළුවන්. මම එහෙම චෝදනා කරන්නේ මගේ සැකය ඒතරම් නිසා. විශේෂයෙන් මේ ට්‍රම්ප්ගේ පාලනය අතිදක්ෂ නාසි පාලනයක්. ඔවුන් ඉන්නේ යුද වියරුවකින්. අද තියෙන ලෝක ආර්ථික අර්බුදය තුළ ආයෙමත් ලෝකයේ සම්පත් යුද්ධයක් කරා බෙදාගෙන නැවත අලුත් පිම්මක් ඉදිරියට යැම හැර ඒගොල්ලන්ට වෙන මාවතක් නෑ.ඒ නිසා අද ඇමරිකා එක්සත් ජනපදය ලෝකයටම තර්ජනයක්.

(නිදර්ශනී වික්‍රමසිංහ)