උල් පිහියක් රැගෙන වාද්දුව බැංකුවකට ඇතු වී බැංකු නිලධාරියකුගේ කම්මුලකැපූ බැකු ඇපකරුවෙකු ඊයේ (18) අත්අඩංගුවට ගත් බව වාද්දුව පොලිසිය කියයි. සැකකාර පුද්ගලයා මීට මාස කිහිපයකට පෙර ඔහුගේ හිතවතකු බැංකුවෙන් ලබාගෙන තිබූ ණය මුදල වෙනුවෙන් ඇපකරුවකු වශයෙන් ඉදිරිපත්වූ අයකු බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.



තුවාල ලද බැංකු නිලධාරිනිය ප්‍රතිකාර සඳහා රෝහල් ගතවී ඇතැයි පොලිසිය කියයි. බැංකුවේ ණය අංශය වෙත ඊයේ (18) පෙරවරුවේ පැමිණ තිබූ මෙම සැකකරු එහි නිලධාරිනිය අමතා ඔහු ඇපයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා කෑ ගසා ඇතැයි පොලිසිය කියයි.

සැකකරු මෙම සිද්ධියට මීට පෙර අවස්ථා කිහිපයක් බැංකුවට පැමිණ ඔහු ඇපයෙන් ඉවත් කරන ලෙස ණය අංශයේ නිලධාරිනියට පවසා ඇතැයිද ණය මුදල අදාළ පුද්ගලයා වෙත මුදා හැර ඇති හෙයින් එසේ කළ නොහැකි යැයිද නිලධාරිනිය පවසා තිබූ බව පොලිසිය කියයි.

බැංකු නිලධාරිනිය එය කළ නොහැකි බව සැකකරුට දැන්වීමත් සමග ඉනෙහි සඟවා ගෙන සිටි උල්පිහිය ගෙන බැංකු නිලධාරිනියගේ දකුණු කම්මුල කපා ඇති බව පොලිස් නිලධාරියා පැවැසීය.

 ඒ සමගම කලබල වූ ගනුදෙනුකරුවන් අතර සිටි ගුරුවරයකු පොලිසිය වෙත දිව ගොස් ඒ බව දැනුම් දීමත් සමග වහා ක්‍රියාත්මක වූ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරික්ෂක ගයාන් කහටපිටිය මහතා ප්‍රමුඛ නිලධාරින් බැංකුව වෙත පැමිණ සැකකරු උල්පිහියත් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියෙක් පැවැසිය.
අත්අඩංගුවට ගත් පුද්ගලයා වාද්දුව-දකුණු කල්පිටිය - දළදාවත්ත පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකි.
වාද්දුව පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරික්ෂක ගයාන් කහටපිටිය මහතා පරික්ෂණ පවත්වයි.


(බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ)