පොලිස් වෑන් රථයක් යොදාගෙන නීති විරෝධී දුම්වැටි ජාවාරමක නිරත පොලිස් නිලධාරින් දෙදෙනෙක් දුම්වැටි 8000 ක් සමග පෙරේදා (24) රාත්‍රියේ කොටුව චෛත්‍ය පරේදී විශේෂ කාර්ය බළකායේ බුද්ධි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

මෙලෙස අත්අඩංගුචට ගෙන ඇත්තේ වරායේ පොලිසියේ නිල සුනඛ අංශයට අයත් සැරයන්වරයකු හා පොලිස් කොස්තාපල් රියැදුරකු බව පොලිස් ආරංචි මාර්ග කියයි. කොළඹ ප්‍රදේශයේ නීති විරෝධී දුම්වැටි ජාවාරමක් සිදුවන බවට ලැබුණු බුද්ධි තොරතුරක් අනුව විශේෂ කාර්ය බළකායේ බුද්ධි නිලධාරීන් උපාය දූතයන් වශයෙන් යොදවා ජාවාරම්කරුවන්ගෙන් දුම්වැටි තොගයක් ඇණවුම් කර ඇති බවද උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

 එම ඇණවුම අනුව බුද්ධි අංශ භට පිරිස් සැකකරුවන් චෛත්‍ය පාරට ගෙන්වාගෙන එහි රැඳී සිටින අතර මෙම සැකකාර පොලිස් නිලධාරින් වෑන් රථයකින් එම ස්ථානයට පැමිණ දුම්වැටි ලබා දීමේ දී භට පිරිස් ඔවුන් දෙදෙනා දුම්වැටි සමග අත්අඩංගුවට ගත්හ.

සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සතුව දුම්වැටි 8000 ක් තිබූ බවද පොලිස් ආරංචි මාර්ග පවසයි. මේවා සියල්ල තීරු බදු රහිතව මෙරටට ආනයන කර තිබූ දුම්වැටි බවද පොලිසිය කියයි. සැකකරුවන් වැඩිදුර පරික්ෂණ සඳහා කොටුව පොලිසියට බාර දී ඇත.

(ඉන්දිකා රාමනායක,බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ,ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)