දුම්රිය ප්‍රවේශපත් නිකුත්කිරීමේ සහ දුම්රිය සන්නිවේදන පද්ධතියක් ස්ථාපිත කිරීමේ ව්‍යාපෘති දේශීය සහ විදේශීය පෞද්ගලික සමාගම් දෙකකට ලබාදීමට බලධාරින් කටයුතු කළ හොත් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹන්නට දුම්රිය සේවකයන් තීරණය කර ඇතැයි දුම්රිය ලොකොමෝටිව ඉංජිනියස් රියැදුරු සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පැවසීය.


දුම්රිය සන්නිවේදන පද්ධති ස්ථාපිත කිරිම සඳහා ප්‍රමුඛ පෙළේ පෞද්ගලික දුරකතන සමාගමකට දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බවත් ඊට අදාළ ගිවිසුම් අත්සන් කිරිම ඉකුත් 26 වැනිදාට යෙදී තිබූ නමුත් වෘත්තිය සමිතිවල විරෝධතාව හේතුවෙන් එය කල්දැමුණු බවත් හෙතෙම කියා සිටියේය.

දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත්කිරීම චීන සමාගමකට ලබාදීමට සැළසුම් කර ඇති බව කී දොඩන්ගොඩ මහතා, එය අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇතැයි ද සඳහන් කළේය.  මේවා වැඩකට නැති ව්‍යාපෘති යැයි කී ඔහු පසුගිය රජය සමයේ සැළසුම් කර ඇති මෙම ව්‍යාපෘති වත්මන් රජය බලයට ආ වහාම අහෝසි කරන බව කීවත් එය සිදුවන බවක් පෙනෙන්නට නැතැයි ද පැවසීය.

තාක්ෂණය දියුණු වර්තමානයේ සන්නිවේදනය දියුණු කිරීම හා ප්‍රවේශපත් නිකුත්කිරීම වැඩිදියුණු කිරීමට දෙපාර්තමේන්තුවට හැකියාව ඇති බැවින් පෞද්ගලික සමාගම්වලට ඒවා දියයුතු නැතැයි ද දොඩංගොඩ මහතා පැවැසීය. මේ සඳහා ඩොලර් මිලියන 8.5ක් වැයවෙතැයි පැවැසෙන බවත් මෙම ව්‍යාපෘති දෙපාර්තමේන්තුව මගින් සිදුකළ හොත් වැයවන්නේ රුපියල් මිලියන 75ක් පමණක් බවත් ඔහු පෙන්වා දුන්නේය.

නාරාහේන්පිට, අභයාරාමයේ පැවැති මාධ්‍ය හමුවකදී ඉන්දික දොඩම්ගොඩ මහතා මෙම කරුණු සඳහන් කළේය. මේ සම්බන්ධව දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය ප්‍රවේශපත් නිකුත් කිරිම කාර්යක්ෂම කිරීම සහ දුම්රිය සන්නිවේදන පද්ධතියක් ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ පාලිත සමරසිංහ මහතාගෙන් ලංකාදීපය කළ විමසීමේදී ඔහු කියා සිටියේ, 2017 සැලසුම් කළ මෙකී ව්‍යාපෘති මේ වනවිට ආරම්භ කිරීමේ අදියර පැමිණ ඇති බවය.

කිසිදු ව්‍යාපෘති සමිතියක් ඊට විරුද්ධ නොවුණු බවත් ඒ පිළිබඳ මුල සිට ඔවුන්ගේ සහය ලැබුණු බවත් කී සමරසිංහ මහතා, මෙම වැඩිදියුණු කිරීම ව්‍යාපෘති අනුව දෙපාර්තමේන්තු සේවක පිරිස්වල වෘත්තීය මට්ටම් ඉහළදැමීමේ වැඩපිළිවෙළක් සැලසුම් කර ඇති බවද කියාසිටියේය.

මේ වනවිට සියලු වෘත්තිය සමිතිවල අදහස් ලබාගෙන ඇතැයි කී ඔහු ඒ සම්බන්ධව රැස්වීම් 14ක් පැවැත්වූ බවද පෙන්වා දුන්නේය. මේ වනවිටත් සන්නිවේදන පද්ධතිය දේශීය සමාගමකට ලබාදී ඇති බව සැබෑ යැයි පැවසු සමරසිංහ මහතා ප්‍රවේශපත්‍ර පිළිබඳ ව්‍යාපෘතිය කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇතැයි කියා සිටියේය.
ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර යටතේ ක්‍රියාත්මක වත මෙම ව්‍යාපෘති දුම්රිය සේවාව ලබාගන්නා ජනතාවටත් එහි සේවක මඩුල්ලටත් ප්‍රතිලාභ රැසක් හිමි වන බවද සමරසිංහ මහතා කීය.

(විනීතා එම්.ගමගේ සහ මහින්ද නිශ්ශංක)