කොරෝනා රෝග තත්වය නිසා ලොව පුරා අගුළු දැමීම ආරම්භවූ සමයේ පෙබරවාරි 23 වෙනිදා ඕස්ට්‍රේලියාවේ පැවති තරඟාවලියක් සඳහා සමෝවා පැසිෆික් දූපතින් පිට වූ  රග්බි කණ්ඩායමකට තවමත් නිවෙස් බලා පැමිණීමට අවස්ථාව උදා වී නොමැති බව  බීබීසී වාර්තා කර තිබේ. මේ කාලය තුළ එකී කණ්ඩායම ලද අත්දැකීම් සුවිශේෂී වෙයි. ඔවුන් නිවෙස් වලින්වී පිටව ඇත්තේ මීට දින 100කටත් වැඩි ගණනකට පෙර සිටය.
නමුත් ඔවුන් නැවත නිවෙස් බලා පැමිණෙන විට
නවසීලන්තයේදී නිරෝධායනය වීමට ඔවුන්ට සිදු විය. එමෙන්ම ඔවුන්ගේ මව් රට තම දේශ සීමා සහමුලින්ම වසා දැමූ විට ඔවුන් එහි අතරමං විය. මෙම කණ්ඩායම මාස තුනක් පුරා ඔක්ලන්තයේ නවාතැන් ගත්හ. එහිදී ක්‍රීඩකයන් 20දෙනෙකුට භාවිත කිරීමට සිදු වූයේ එකම කාමරයය. සමෝවාවට යෑමට දැන් ඔවුන්ට අවස්ථාව උදා වුවද රටට ඇතුල් වීමේදී සති දෙකකට නිරෝධායනය වීමට සිදු වීම හේතුවෙන් ඔවුන් තවමත් තම පවුල්වල සාමාජිකයන්ව දැක නොමැතිය.

“අපි රටින් පිට වූයේ ශීත කාලයේදී. නමුත් අප නැවත පැමිණියේ ගිම්හාන කාලයේදීය” කියා එම පිළේ වීඩියෝ විශ්ලේෂක වන හරී නාරායන් බීබීසී පුවත් සේවයට අදහස් දැක්වීය. ලෝක වේග රග්බි කාල සීමාව තුළ මනුමා සමෝවාගේ ප්‍රථම තරඟය මාර්තු 14 වෙනිදාට යෙදී තිබීම හේතුවෙන් රග්බි කණ්ඩායම පෙබරවාරි 23 වන දින රටින් පිට විය. ඔක්ලන්තයේදී ඔවුන්ට සති දෙකක පුහුණු කඳවුරක් පැවැත්වුණු අතර ඔවුන්ගේ සැලැස්ම වූයේ ඉන්පසුව ඕස්ට්‍රේලියාවේ පර්ත්වලදී තරඟයේ හවුල් වී ඔක්ලන්තය හරහා නිවස බලා පැමිණීමය. පසුව මාර්තු 21වන දින තම මව්රටේදී තරඟාවලියකට හවුල් වීමේ අරමුණක් ඔවුන් සතු විය.

නමුත් ‍රග්බි කණ්ඩායම පර්ත්වල තරඟ කරන විට සමෝවා රජය විසින් නිවේදනයක් නිකුත් කරන ලදි. එහි සඳහන් වූයේ මාර්තු 15වන දින උදෑසන 8න් පසු නම් කරන ලද රටවල් 33ක සිට සමෝවා රටට පැමිණෙන ඕනෑම අයෙකු ස්වයං නිරෝධායනයට ලක් විය යුතු බවය. එම රටවල් 33ට ඕස්ට්‍රේලියාවද අයත් විය.

නමුත් නවසීලන්තයට ඇතුල් වීමට ඔවුන්ට ඒ වන විටද අවස්ථාව තිබුණි. මාර්තු 26 වනදා සිට “ගුවන් යානා මගින් සමෝවාවෙන් පිට වීම සහ සමෝවාවට ඇතුල් වීම අත්හිටුවන” බව සමෝවා රජය විසින් මාර්තු 24වෙනිදා නිවේදනය කරන ලදි. එවිට නවසීලන්තයට ඇතුල් වූ ඔවුන් කරකියාගැනීමට දෙයක් නොමැතිව අතරමං විය. ඉන්පසුව ක්‍රීඩකයන් 20දෙනෙකුට එක් විශාල කාමරයක් තුළ විසීමට සිදු විය. ඔවුන්ට තනි ඇඳන් ලැබුණු අතර කුඩා කාමරවල කළමනාකරුවන් නවාතැන් ගන්නා ලදි.
“අපිට කිසිම පෞද්ගලිකත්වයක් තිබුණේ නැහැ. ඇතැමුන් නින්දෙන් ගොරවන අය” කියා තියෝඩර් මැක් ෆාලන්ඩ් පැවසීය.
නමුත් ඔවුන් එම කාලසීමාව සතුටින් ගත කළ බව ඔහු පවසයි. ඔවුන්ගේ කණ්ඩායම බොහෝ සවස් කාලවලදී ක්‍රීඩාවල යෙදුණු බවද “උමුස්” ලෙස හඳුන්වන සමෝවා වැසියන්ගේ ගල් ලිප් පිටත සකස් කර ඒවායේ ආහාර පිළියෙල කළ බවද ඔහු සඳහන් කළේය.
විසිත්ත කාමරය ඔවුන් විසින් ව්‍යායාම් ස්ථානයක් බවට පත් කරන ලදි. එමෙන්ම නවසීලන්තයේ 4වෙනි අදියරේ අගුළු දැමීම මාර්තු 25වනදා ආරම්භ වීමෙන් අනතුරුවද ඔවුන්ට පිටත පුහුණු වීම් කිරීම සඳහා අවසර තිබුණි. අදියර 4 අගුළු දැමීමේ නීතියට අනුව ව්‍යායාම් කිරීමට අවසර තිබුණේ “තනිව හෝ ඔබ සමඟ ජීවත් වන පුද්ගලයන් සමඟ” පමණය. එම නිසා ගේට්ටු ඇතුළත සිටි නිවැසියන්ට එක්ව ක්‍රීඩා කිරීමට බලධාරීන් විසින් ඉඩහැර තිබුණි.

මෙම කණ්ඩායමේ ක්‍රීඩකයන් අතර වාද විවාද නොපැවති බවත් සෑමවිටම සිනහවෙන් කල් ගෙවූ බවත් නාරායන් පවසයි.
බ්‍රිතාන්‍ය රග්බි ක්‍රීඩකයන්ව පුදුමයට පත් කළ හැකි කරුණක් මෙම කණ්ඩායම තුළ දක්නට ලැබීය. එය නම් බියර් පානයෙන් වැළකී සිටීමය. “අපට බීමට අවසර නැහැ. එය අපේ රග්බි සම්ප්‍රදායේ කොටසක්. විශේෂයෙන්ම අප නවාතැන් ගත්තේ ආගමික ස්ථානයක වීමද එසේ වැළකී සිටීමට හේතුවක්” කියා මැක් ෆාලන්ඩ් පවසයි.

අප්‍රියෙල් මාසයේ අගදී නවසීලන්තයේ අගුළු දැමීම ලිහිල් වූ විට එම ප්‍රදේශයේ සිටි බොහෝ පුද්ගලයන්ට රටින් පිට වීමට අවස්ථාව ලැබුණද සමෝවානු ක්‍රීඩකයන්ට එම අවස්ථාව නොලැබුණි. ක්‍රීඩා කිරීම සහ “උමුස්” ලෙස ආහාර පිසීම දිගටම පැවතියද මෙම ඒකාකාරී ජීවිතය යටතේ මානසික යහපැවැත්ම මෙම පිළට ලෙහෙසි පහසු කාර්යයක් නොවීය.

“අපි හිටියේ කොටු වෙලා. හැම දවසකම දකින්නේ එකම පුද්ගලයන්ව පමණයි. සිරකරුවෙකුටත් මෙහෙම දැනෙනවා ඇති කියා මට තේරුම්ගත හැකිය” කියා කණ්ඩායම් කළමානාකරු ටුවාලා පැට් ලියෝටා පැවසීය.
ඔවුන්ට මින් නිදහස් විය හැකි දිනය වරින් වර කල් දැමීමද අභියෝගයක් විය. මැයි 19වෙනිදා නිවෙස් බලා පිටත් විය හැකි බව මුලින් පැවසුවද පසුව එය මැයි 22වනදාට සහ 29වනදාට කල් යන ලදි. බලාපොරොත්තුවේ සේයාවක් පහළ වන විටම නැවත එය නොපෙනී යන ලදි.

අවසානයේදී සතියකින් පසුව ඔවුන් නැවතී සිටි ස්ථානයෙන් පිට වීමට ක්‍රීඩක කණ්ඩායමට හැකි විය. නමුත් එක් කොරෝනා ‍රෝගියෙකුවත් වාර්තා නොවන රටවල් කිහිපය අතරට සමෝවාවද එක් වන බැවින් ඔවුන් වෛරස රටට පැමිණිය හැකි සියලු අවස්ථා නැති කර දැමීමට උත්සාහ කරයි.
එමනිසා තම මව් රටට පා තැබීමට මෙම රග්බි කණ්ඩායමට අවස්ථාව එලඹියද ඔවුන්ව සති දෙකක නි‍රෝධායනයට ලක් කරන ලදි. ක්‍රීඩකයන්ව සහ කළමනාකාරිත්වය තබා තිබෙන්නේ වෙනම ස්ථානවලය. ලියෝටා සහ නාරායන් යන දෙදෙනාම එක් හෝටලයක සිටින අතර මැක් ෆාලන්ඩ් සිටින්නේ වෙනමය.
“අපි එහේ හිටියේ එක පවුලක් වගේ. ඒ නිසා අපිට එම කාලය කත කරන එක පහසු වුණා. ඒත් දැන් මෙහේ මට කවුරුවත් නැහැ. මම දැන් උදේට නැඟිටිද්දී ඉන්නේ මම විතරයි” කියා මැක් ෆාලන්ඩ් පවසයි.
නමුත් පෙබරවාරි මාසයෙන් පසුව නැවත තම පවුල්වල සාමාජිකයන්ව මුණගැසීමේ සතුට භුක්ති විඳීමට ඔවුන්ට ඉතිරිව ඇත්තේ සතියක කාලයක් පමණය. දින 104කට පෙර අරඹන ලද ගමනක අවසානය සනිටුහන් කිරීමට ඉතිරිව තිබෙන්නේ ඉතා සුළු කාලසීමාවක්ය.
“මගේ දුවට වයස මාස 4යි. මං දුවව අවසන් වරට දුටුවේ දුවට මාසයේදී. මට ගොඩක් මඟහැරුණා” කියා නාරායන් සඳහන් කළේය.
(බීබීසී ඇසුරිනි)
එස්. දහනායක

[June05, 2020 - Gossiplankanews.com]