රජයේ පාසල් සිසුනට, පිරිවෙන් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට සහ ගිහි සිසුන්ට 2021 වසරේදී පාසල් නිල ඇඳුම් තිළිණපත් වෙනුවට නිල ඇඳුම් රෙදි ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.



ඒ සඳහා අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම අමාත්‍ය මණ්ඩල යෝජනාවක් ඉදිරිපත් කර ඇත. කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි දේශීය රෙදිපිළි නිෂ්පාදකයන් වෙතින් පමණක් ප්‍රසම්පාදනය සිදු කර ඒ අතරින් සැපයුම්කරුවන් තෝරා ගැනීමත් අමාත්‍ය මණ්ඩල යෝජනාවේ සඳහන්ව තිබේ.


පාසල් නිල ඇඳුම් ලබාදීම සඳහා 2021 වර්ෂයට රුපියන් මිලියන දෙදහස් එකසියයක මුදලක් වැය වෙනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත. අවශ්‍ය රෙදි ප්‍රමාණය මීටර් මිලියන දොළහකි. කොවිඩ්- 19 වයිරසය ව්‍යාප්ත වීම නිසා නිල ඇඳුම් තිළිණපත් වෙනුවට නිල ඇඳුම් රෙද ලබාදීමටත් දේශීය නිෂ්පාදකයන් දිරි ගැන්වීමටත්, විදේශීය විනිමය ඉතිරි කර ගැනීමටත් හැකි වන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ අපේක්ෂාවයි.

උදයජීව ඒකනායක